යාපනය අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි ඩෙල්ෆ්, අනලතිව් සහ නයිනතිව් (නාගදීපය) දූපත්වාසීන් වෙනුවෙන් පැය 24 පුරා ක්‍රියාත්මක ස්ථාවර හා හරිත විදුලි සැපයුමක් තහවුරු කිරීමට කටයුතු යොදා ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉන්දීය රජයේ ඩොලර් මිලියන 11ක (රුපියල් බිලියන 3.3කට අධික) ආධාර යටතේ ඉදිවන හයිබ්‍රිඩ් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමිනි.

මෙතෙක් කල් අධික පිරිවැයක් සහ ප්‍රවාහන දුෂ්කරතා මධ්‍යයේ ඩීසල් බලාගාරවලින් විදුලිය ලබාගත් මෙම දූපත් සඳහා, මින් ඉදිරියට සූර්ය බලය (1.7 MW), සුළං බලය (750 kW) සහ බැටරි ගබඩා පද්ධති (2.4 MWh) ඒකාබද්ධ කළ ස්වාධීන (Off-grid) පද්ධතියක් මගින් විදුලිය සැපයීමට නියමිතය.

මෙම ව්‍යාපෘතිය හරහා පරිසර දූෂණය සහ වැයවන පිරිවැය අවම වන අතරම, දූපත්වල ධීවර කර්මාන්තය, සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රයන්හි දැවැන්ත පිබිදීමක් ඇති වනු ඇතැයි ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Share.
Leave A Reply