රජය පොරොන්දු කඩකර මාධ්‍ය සංදර්ශන පවත්වද්දී, සජබ E-Voting ඇතුළු සුහුරු වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට – මන්ත්‍රී චතුර ගලප්පත්ති
වත්මන් ජාතික ජන බලවේග රජය බලයට පත්වී වසර දෙකකට ආසන්න කාලයක් ගත වුවද විදුලි බිල, වැට් බදු සහ ඉන්ධන මිල අඩු කිරීම ඇතුළු දුන් පොරොන්දු කිසිවක් ඉටු කර නැතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා චෝදනා කරයි.
අද (19) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ රජය ආර්ථිකය ශක්තිමත් කිරීමට අපොහොසත් වී, “හොරු ඇල්ලීමේ” මාධ්‍ය සංදර්ශන පවත්වමින් සිටින අතර, IMF හි නවතම වාර්තා මඟින් ද රටේ දැඩි ආර්ථික අර්බුදය සහ 2028 න් පසු ණය ගෙවීමේ බරපතළ අවදානම පෙන්වා දී ඇති බවයි.
රජයේ අසමත්කම හමුවේ තරුණ පරපුර රට හැර යද්දී, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සුහුරු (Smart) ලංකා සංකල්පය යටතේ මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වතාවට ‘E-Voting’ (විද්‍යුත් ඡන්ද) ක්‍රමවේදයක් ඔස්සේ සජබ මාතර දිස්ත්‍රික් තරුණ බලවේග නිලවරණය එළඹෙන ඉරිදා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව මන්ත්‍රීවරයා අනාවරණය කළේය.
දිස්ත්‍රික්ක 7ක තරුණ සම්මේලන සාර්ථකව නිම කරමින් තරුණ විශ්වාසය දිනා සිටින සජබ, මහනුවර රෝහලට ශෛල්‍ය උපකරණ පරිත්‍යාග කිරීම වැනි සමාජ සේවා දියත් කරන බවත් හෙතෙම පැවසීය.
මීට අමතරව, දයාසිරි ජයසේකර මහතා සමගි ජන සන්ධානය නියෝජනය කරමින් විපක්ෂ නායකවරයා සමඟ ඉතා හොඳ අවබෝධයකින් කටයුතු කරන බවත්, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වත්මන් රජය පරස්පර අදහස් දක්වද්දී ඒ සඳහා විධිමත් විමර්ශන වැඩපිළිවෙළක් ඉදිරිපත් කර ඇති එකම පක්ෂය සජබ බවත් මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

