ගෙවුම් ශේෂ ලේඛනවල “දෝෂ සහ අතපසුවීම්” යටතේ සටහන් වී ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 808 ක දැවැන්ත මූල්‍ය විෂමතාවය හුදු “සංඛ්‍යානමය දෝෂයක්” හෝ දත්ත වාර්තාකරණයේ “කාලීන ප්‍රමාදයක්” ලෙස සලකා බැහැර කිරීමට එරෙහිව “දිනන දකුණ සාමූහිකය” රජයට සහ මූල්‍ය බලධාරීන්ට දැඩි අනතුරු ඇඟවීමක් නිකුත් කර සිටියි.

පාර්ලිමේන්තුවේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ (COPF) සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා වෙත සෘජුවම විවෘත ලිපියක් යොමු කරමින් එම සාමූහිකය අවධාරණය කරන්නේ, මෙම බරපතල කරුණ කිසිසේත්ම “කාපට් එක යටට දමා වසා දැමීමට” ඉඩ දිය නොහැකි බවයි.

ගෙවුම් ශේෂයන් සමනය කිරීම සඳහා “දෝෂ සහ අතපසුවීම්” යනු ලෝකයේ ඕනෑම රටක භාවිතා වන සම්මත ගිණුම්කරණ පියවීම් ක්‍රමවේදයක් වුවද, මෙරට සටහන් වී ඇති සෘණ ඩොලර් මිලියන 808ක අගය රටේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සැලකිය යුතු ප්‍රතිශතයක් ගන්නා බව දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙයි.

“මෙය තවදුරටත් හුදු තාක්ෂණික පාදක සටහනක් නෙවෙයි. මෙය සමස්ත සාර්ව ආර්ථිකයටම නිකුත් කර ඇති දැඩි අනතුරු ඇඟවීමේ රතු එළියක්. මේ දැවැන්ත සෘණ පරතරයෙන් පැහැදිලිවම පෙනෙන්නේ අපේ ආර්ථිකයෙන් ඉතා බරපතල ලෙස මුදල් කාන්දු වීම්, නීති විරෝධී ලෙස ප්‍රාග්ධනය රටින් පිටවීම හෝ වැරදි දත්ත වාර්තාකරණයක් සක්‍රීයව සිදුවන බවයි.” යනුවෙන් එම නිවේදනයේ සඳහන් වේ.

අපනයන වටිනාකම් අධි-අගයනය කර විදේශ විනිමය පිටරට රඳවා තබා ගැනීම සහ ආනයන වටිනාකම් ඌන-අගයනය කර රේගු බදු පැහැර හැරීම වැනි වෙළඳ වාර්තා විකෘති කිරීම් හේතුවෙන් වාර්ෂිකව ලංකාවට අහිමි වන විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් බිලියන ගණනක් බව දිනන දකුණ සාමූහිකය පෙන්වා දෙයි.

මේ පිළිබඳව රටම දැන සිටියද, මෙම මහා පරිමාණ මූල්‍ය අවභාවිතාවන් වැළැක්වීම සඳහා මෙතෙක් පත් වූ කිසිදු රජයක් ආයතනික මට්ටමේ නිවැරදි කිරීමේ පියවරක් ගෙන නැත. මෙම පද්ධතිමය අසාර්ථකත්වයේ සමස්ත බර අවසානයේ පැටවෙන්නේ රටේ පොදු මහජනතාව මතය.

මතුපිටින් පෙනෙන ගිණුම්කරණ පාරිභාෂිතයන් පිටුපස සැඟවී නොසිට, නිරපේක්ෂ විනිවිදභාවය සහතික කිරීම සඳහා COPF සතු ව්‍යවස්ථාපිත අධීක්ෂණ බලතල ක්‍රියාවට නංවන ලෙස එම සාමූහිකය එහි සභාපතිවරයාගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව, අඛණ්ඩව සිදුවන මෙම දත්ත පරතරයන් පිළිබඳව සැබෑ තත්ත්වය සෙවීම සඳහා:

ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL)

ශ්‍රී ලංකා රේගුව

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

යන ආයතන ත්‍රිතයම ඒකාබද්ධ කරමින් වහාම පතුලට කිඳා බසින වෝහාරික විගණනයක් මෙහෙයවීමට නියෝග කරන ලෙස දිනන දකුණ සාමූහිකය COPF කාරක සභාවෙන් දැඩිව ඉල්ලා සිටියි.

විධිමත් බැංකු පද්ධතියෙන් බැහැරව පවතින උන්ඩියල් සහ හවාලා වැනි සමාන්තර වෙළඳපොළවල් හරහා ඩොලර් බිලියන ගණනින් මුදල් රටින් පිටතට ගලා යාමට ඉඩ දී ශ්‍රී ලංකාවට කිසිසේත්ම සැබෑ ආර්ථික ස්ථාවරත්වයක් ළඟා කර ගත නොහැකි බව පවසමින් දිනන දකුණ සාමූහිකයේ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව මෙම නිවේදනය නිකුත් කර ඇත.

Share.
Leave A Reply