සීඝ්‍රයෙන් සිදුවන දේශගුණික විපර්යාස, භූමි හායනය සහ නියඟය හේතුවෙන් ශ්‍රී ලංකාවේ සමස්ත ආහාර සුරක්ෂිතතාවයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බව පරිසර අමාත්‍යාංශය අනතුරු අඟවයි. අද දිනට (ජුනි 17) යෙදෙන “කාන්තාරකරණය හා නියඟය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනය” නිමිත්තෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ, මෙරට වියළි, අතරමැදි සහ කඳුකර කලාපවල පරිසර සමතුලිතතාව රකින තෘණ භූමි පද්ධතීන් සීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බවයි.

අනවසර ඉඩම් අත්පත් කරගැනීම්, හිතාමතා ගිනි තැබීම් සහ ආක්‍රමණශීලී ශාක ව්‍යාප්තිය හේතුවෙන් මෙම තත්ත්වය උදාවී ඇති අතර, එහි සෘජු ප්‍රතිඵල ලෙස දරුණු පාංශු ඛාදනයක් සහ ජල හිඟයක් නිර්මාණය වී කෘෂිකාර්මික නිෂ්පාදන පහත වැටෙමින් පවතී. එක්සත් ජාතීන්ගේ කාන්තාරකරණය වැළැක්වීමේ සම්මුතියට (UNCCD) අනුව මෙවර ලෝක තේමාව වී ඇත්තේ “තෘණ භූමි: හඳුනාගනිමු. ගරු කරමු. ප්‍රතිසංස්කරණය කරමු” යන්නයි.

මෙම පාරිසරික අර්බුදයට පිළියම් සෙවීම සඳහා පරිසර අමාත්‍යාංශය, කෘෂිකර්ම අමාත්‍යාංශය සහ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව අද දින විශේෂ වැඩසටහන් මාලාවක් පවත්වනු ලැබීය. මෙහිදී විශේෂයෙන්ම වර්තමානයේ දැඩි කතාබහට ලක්වන එල්නිනෝ‘ (El-Nino) දේශගුණික තත්ත්වය සහ ඉන් ශ්‍රී ලංකාවට ඉදිරියේදී ඇති විය හැකි ප්‍රබල බලපෑම් පිළිබඳව ද කාලගුණ බලධාරීන් විසින් ජනතාව සහ පාසල් සිසුන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

Share.
Leave A Reply