උසස් පෙළ සිසුන් ලක්ෂ ගණනකටත් අසාධාරණයක්: විභාගය කල් නොදැම්මොත් ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා – උදය ගම්මන්පිල රටට හෙළිදරව් කරයි!
ශ්‍රී ලංකාවේ සියවස් ගණනාවක් මුළුල්ලේ සුරැකිව පැවති බෞද්ධ සහ කතෝලික ජනතාව අතර ඇති අන්‍යෝන්‍ය සමගිය සහ සිංහල සමාජයේ පදනම විනාශ කිරීමේ සූක්ෂ්ම සහ භයානක කුමන්ත්‍රණයක් රාජ්‍ය නොවන සංවිධාන (NGO) මෙහෙයවීමෙන් කතෝලික පල්ලිය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පැවැති මාධ්‍ය හමුවකදී විශේෂ හෙළිදරව්වක් කරමින් කියා සිටියේය.
එමෙන්ම, වත්මන් රජය විසින් කිසිදු විද්‍යාත්මක පදනමකින් තොරව 2026 උසස් පෙළ විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීමට කටයුතු කිරීම තුළින් සිසුන් ලක්ෂ ගණනකගේ මූලික අයිතිවාසිකම් සෘජුවම උල්ලංඝනය වන බවත්, රජය වහාම මේ පිළිබඳව අවධානය යොමු කර විභාගය කල් නොදැම්මොත් ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පවරන බවත් ඒ මහතා දැඩිව අවධාරණය කළේය.
පාස්කු ප්‍රහාරයේ වගකීම බෞද්ධයන් පිට පැටවීමේ NGO සෙල්ලම
සුරේෂ් සලේ මහතාට වද හිංසා පැමිණවීමට පක්ෂව කාදිනල්තුමා ප්‍රකාශ නිකුත් කරන විට, ඊට එරෙහිව අස්ගිරි මහානායක හිමියන් ප්‍රකාශයක් නිකුත් කර ඇති බව පෙන්වා දුන් ගම්මන්පිල මහතා, මෙම තත්ත්වය බුද්ධ ශාසනය සහ කතෝලික පල්ලිය අතර ගැටුමක් දක්වා තල්ලු කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරන බව පැවසීය.
“අපේ රටේ වසර පන්සීයකට අධික කාලයක් බෞද්ධයන් සහ කතෝලිකයන් එකට ජීවත් වුණා. සිංහල ජාතියේ ලොකුම ශක්තිය මේ සමගියයි. මේ සමගිය බිඳලා සිංහලයා දුර්වල කරන්න යටින් යන කුමන්ත්‍රණය මෙහෙයවන්නේ සිරිල් ගාමිණී, ජූඩ් ප්‍රනාන්දු, රුවන් සිල්වා වැනි පියතුමන්ලා ඇතුළු NGO කල්ලියක්. ඔවුන්ගේ උත්සාහය පාස්කු ප්‍රහාරයේ වගකීම මුස්ලිම් අන්තවාදීන්ගෙන් නිදහස් කරලා බෞද්ධයන් මත පටවන එකයි” යැයිද ඒ මහතා චෝදනා කළේය.
වත්මන් රජයේ පොලිස් පත්වීම් විවේචනය කළ ඒ මහතා, පාස්කු විමර්ශනවල සැකකරුවන් වන රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් ලවාම විමර්ශන සිදු කරවා ගැනීමට කාදිනල්තුමා උනන්දු වන්නේ ඇයිදැයි ප්‍රශ්න කර සිටියේය.
එමෙන්ම ඊබ්‍රාහිම් නානාගේ නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියට රටින් පිටවීමට ඉඩ හැරීම සහ ඔහුගේ දේපළ නැවත ලබා දීම හරහා මාලිමා රජය ත්රස්තවාදයට අනුබල දුන් අයට කළගුණ සලකමින් සිටින බවද ඔහු පැවසීය.
මාස 21 කින් විභාගය පවත්වන්නේ කොහොමද? සිසුන්ට මාරක පහරක්!
මාධ්‍ය හමුවේදී දෙවනුවට අදහස් දැක්වූ උදය ගම්මන්පිල මහතා, 2026 උසස් පෙළ විභාගයට පෙනී සිටින පළමු, දෙවන සහ තෙවන වර සිසුන් මුහුණ දී ඇති අතිශය අසාධාරණ තත්ත්වය සංඛ්‍යාලේඛන සහිතව රට හමුවේ තැබීය.
පසුගිය වසරවල දෙවන වර විභාගයට ලියන සිසුන්ට සූදානම් වීම සඳහා දින 178 ත් 198 ත් අතර කාලයක් ලැබුණද, මෙවර මාර්තු 31 ප්‍රතිඵල ආ පසු අගෝස්තු 10 විභාගය පවත්වන බැවින් සිසුන්ට ලැබෙන්නේ දින 133 ක් පමණක් බව ඔහු පැවසීය.
එමෙන්ම පළමු වර ලියන සිසුන්ට සාමාන්‍යයෙන් මාස 28-32 ක කාලයක් ලැබුණද, මෙවර සිසුන්ට ලැබී ඇත්තේ මාස 21 ක් වැනි කෙටි කාලයකි.
“මේ දරුවන් තමයි ‘දිට්වා’ කුණාටුවෙන් පොත්පත් පවා අහිමි වෙලා, ගුරු වර්ජන, ආර්ථික අර්බුද මැද බැට කාපු අසරණ දරුවන්. ඔවුන්ට මේ කරන අසාධාරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය (සමානයන්ට සමානව සැලකීම) සෘජුවම උල්ලංඝනය කිරීමක්. මේ නිසා දරුවන්ට මූලික අයිතිවාසිකම් නඩුවක් හෝ රිට් නඩුවක් දැමීමට පැහැදිලි නීතිමය පදනමක් තියෙනවා.”
2022 වසරේදී ද මෙවැනිම තත්ත්වයක් මතු වූ අවස්ථාවේදී එවකට සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් නීතිමය තර්කවලට සවන් දී, සිසුන් කෙරෙහි සංවේදීව විභාගය කල් දැමූ බව සිහිපත් කළ ගම්මන්පිල මහතා, වත්මන් මාලිමා රජය ද මුරණ්ඩු නොවී වහාම විභාගය කල් දමා දරුවන්ට සාධාරණයක් ඉටු කළ යුතු බව ප්‍රකාශ කළේ ය.

