“පාසල් 10,000ක විෂමතා නිමා කර, GDP පරදා ‘දළ ජාතික සතුට’ දිනන ස්ථාවර ප්‍රතිපත්ති රටට අවශ්‍යයි” – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

“රැකියා විරහිත උපාධිධාරීන් බිහි කරන ක්‍රමය වෙනස් කර, ආයෝජන දිනන ආර්ථික වර්ධනයක් වහා ඇති කළ යුතුයි”

“තාවකාලික පැලැස්තර පරිසර ප්‍රතිපත්ති වෙනුවට ස්ථාවර ජාතික දැක්මක් සහ දේශගුණික පූර්ව සූදානමක් රටට ඕනෑ”

“අධ්‍යාපන ව්‍යුහයේ වෙනසක් සහ ස්ථාවර ජාතික ප්‍රතිපත්තියක් හරහා ආර්ථිකය ශක්තිමත් කිරීමට විපක්ෂ නායකගෙන් යෝජනා”

ශ්‍රී ලංකාවේ පවතින 10,000කට අධික පාසල් පද්ධතිය තුළ සම්පත් බෙදී යාමේ දැඩි විෂමතාවක් පවතින බවත්, මෙරට නිදහස් අධ්‍යාපනයේ මූලික සුබසාධන අරමුණු ඉන් බිඳවැටී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි. වැඩි සම්පත් ප්‍රමාණයක් භුක්ති විඳින්නේ සීමිත ජාතික සහ ප්‍රමුඛ පාසල් සංඛ්‍යාවක් පමණක් බව පෙන්වා දෙන ඒ මහතා, බහුතරයක් පාසල් තවමත් අවම පහසුකම් යටතේ ක්‍රියාත්මක වන බව අවධාරණය කළේය.

ඕස්ට්‍රේලියානු ජාත්‍යන්තර කටයුතු ආයතනයේ (AIIA) නියෝජිත පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී විපක්ෂ නායකවරයා කියා සිටියේ වත්මන් කටපාඩම් අධ්‍යාපන ක්‍රමය සහ අසංගත විෂය නිර්දේශ හේතුවෙන් වාර්ෂිකව රැකියා වෙළෙඳපොළට නොගැළපෙන, රැකියා විරහිත උපාධිධාරීන් දහස් ගණනක් බිහිවන බවයි.

මෙම ව්‍යුහාත්මක ගැටලු විසඳා, ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමට නම් රටේ ආර්ථික වර්ධනය සහ තරඟකාරීත්වය වහා ශක්තිමත් කළ යුතු බව ද ඔහු පැවසීය.

එමෙන්ම, සාර්ව ආර්ථික දර්ශක (GDP) මත පමණක් යැපෙන්නේ නැතිව, පරිසරය සහ ස්වාභාවික සම්පත් ද ඇතුළත් වන පරිදි ‘දළ ජාතික සතුට’ (Gross National Happiness) ගණනය කරන ක්‍රමවේදයකට රට යොමු විය යුතු බව ද, දේශගුණික විපර්යාස හමුවේ තාවකාලික පැලැස්තර වෙනුවට ස්ථාවර ජාතික පාරිසරික ප්‍රතිපත්තියක අවශ්‍යතාව ද විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

Share.
Leave A Reply