ශ්‍රී ලංකාව තුළ මෙතෙක් වාර්තා නොවූ, මිනිසුන්ට අමතරව සතුන් තුළද ශීඝ්‍රයෙන් බෝවිය හැකි අතිශය භයානක නව බරවා පරපෝෂිතයෙකු සෞඛ්‍ය අංශ විසින් අලුතින්ම හඳුනාගෙන තිබේ. මේ සමඟම රට තුළ බරවා රෝගය යළිත් දරුණු ලෙස ව්‍යාප්ත වීමේ මහා අවදානමක් මතුව ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි.

මේ අතර, රට පුරා සිඝ්‍රයෙන් හිස ඔසවන ඩෙංගු උවදුර පාලනය කිරීම සඳහා හිමිකරුවන් විසින් අතහැර දමා ඇති පුද්ගලික සහ රජයේ ඉඩම් හා පරිශ්‍ර වටලා පරීක්ෂා කිරීමට පොලිසිය සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සහාය ඇතිව දැවැන්ත ඒකාබද්ධ මෙහෙයුම් ඇරඹීමටද තීරණය කර ඇත.

සතුන්ටත් බෙහෙත් කරන්න වෙන ‘මාරක’ පරපෝෂිතයා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නවතම දත්තවලට අනුව පසුගිය වසරේ පමණක් මෙරටින් අලුතින් බරවා රෝගීන් 34 දෙනෙකු වාර්තා වී ඇති අතර, මේ වසරේ ගත වූ කෙටි කාලය තුළදී පමණක් තවත් රෝගීන් 07 දෙනෙකු හඳුනාගෙන තිබේ.

නමුත් තත්ත්වය වඩාත් බරපතළ කර ඇත්තේ මේ වන විට සොයාගෙන ඇති නව පරපෝෂිතයාගේ ස්වභාවයයි. මෙතෙක් ලංකාවෙන් හමු වූ සාමාන්‍ය බරවා පරපෝෂිතයා වන වුචරේරියා බැන්ක්‍රොෆ්ටි මෙන් නොව, මෙම නව පරපෝෂිතයා සතුන් තුළද ඉතා පහසුවෙන් බෝවන බව අනාවරණය වී ඇත.

සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රෝගය පාලනය කිරීම අතිශය අසීරු වනු ඇති බවත්, ඉදිරියේදී මිනිසුන්ට මෙන්ම සතුන්ටද බරවා රෝගය සඳහා ප්‍රතිකාර කිරීමට සිදුවීමේ මහා ඛේදවාචකයකට රට මුහුණ දී ඇති බවත්ය.

“ලෝකෙටම ඉන්නෙ මෙන්න මෙහෙම අමුතු ජාතියක්!” – වෛද්‍යවරුන්ගෙන් දොස්මුරයක්

මදුරු උවදුර රටම වෙලා ගනිද්දී මෙරට ජනතාව දක්වන වගකීම් විරහිත ආකල්ප පිළිබඳව සෞඛ්‍ය අංශ දැඩි කලකිරීම පළ කර සිටියි.

“අපේ රටේ ජනතාව අමුතුම ජාතියක්. ලෝකෙටම මේ වගේ අමුතු ජාතියක් ඉන්නේ මේ රටේ විතරයි. මේ වන තුරු සෞඛ්‍ය අමාත්‍යාංශය ලබාදුන් පණිවුඩ සහ උපදෙස් ජනතාව පිළිගත්තා නම් මදුරුවන්ගෙන් බෝවෙන මෙවැනි රෝග මේ තරම් ව්‍යාප්ත වෙන්නේ නැහැ.” — වෛද්‍ය සේරසිංහ මහත්මිය

විශේෂයෙන්ම, උඩින් වසා ඇති කොන්ක්‍රීට් පියන් සහිත කානු පද්ධති මදුරුවන් බෝවන ප්‍රධාන තිප්පොළවල් බවට පත්ව ඇතත්, ජනතාව ඒවා පිරිසිදු කිරීමට උනන්දු නොවේ. මදුරුවන් බෝවන ස්ථාන විනාශ කරනු වෙනුවට, මදුරු කොයිල් සහ විවිධ විකර්ශක වර්ග සඳහා ජනතාව මාසිකව මහා පරිමාණයෙන් මුදල් නාස්ති කරති. අවසානයේ සිදුවන්නේ මුදලුත් විනාශ වී, එම රසායනික ද්‍රව්‍ය නිසා තවත් අතුරු ආබාධ රැසකට ජනතාව ගොදුරු වීම පමණක් බව වෛද්‍යවරු පෙන්වා දෙති.

පැය 48ක් උණ නම් වහාම රෝහලට!

පවතින සෞඛ්‍ය අවදානම සලකා බලා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, තමන්ට හෝ තම පවුලේ අයෙකුට පැය 48ක් (දින දෙකක්) අඛණ්ඩව උණ පවතින්නේ නම් කිසිදු ප්‍රමාදයකින් තොරව වහාම සුදුසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසයි.

මදුරු ප්‍රශ්නය තනි පුද්ගලයෙකුගේ ප්‍රශ්නයක් නොව සමස්ත දේශයේම පොදු වුවමනාවක් සේ සලකා කටයුතු නොකළහොත්, ඉදිරියේදී ඩෙංගු සහ බරවා රෝග හමුවේ රට දැඩි අර්බුදයකට ලක්වීම වැළැක්විය නොහැකි බව සෞඛ්‍ය අංශ අවධාරණය කරයි.

Share.
Leave A Reply