ආසියා-පැසිෆික් කලාපයේ පවතින පැරණිතම වෛද්‍ය පුස්තකාලය වන ‘ශ්‍රී ලංකා වෛද්‍ය පුස්තකාලයට’ (Sri Lanka Medical Library) වසර 182ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කෙරුණු විශේෂ විද්වත් සමුළුව පසුගියදා කොළඹ, විජේරාම මාවතේ පිහිටි ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් මූලස්ථානයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු මෙම සමුළුව, මෙරට වෛද්‍ය ඉතිහාසය ලේඛනගත කිරීම සහ සංරක්ෂණය කිරීම උදෙසා තැබූ ප්‍රබල පියවරක් ලෙස සනිටුහන් වේ.
ශ්‍රී ලංකා වෛද්‍ය පුස්තකාලය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සහ ජාතික විද්‍යා පදනම එක්ව සංවිධානය කරන ලද මෙම සුවිශේෂී සම්මන්ත්‍රණය සඳහා මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, පර්යේෂකයන්, ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් සහ පුස්තකාල කළමනාකරුවන් ඇතුළු ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් විශාල පිරිසක් සහභාගී වූහ.
1844 සිට පැවතෙන ඓතිහාසික උරුමය
1844 ජුනි 01 වන දින ‘Colonial Medical Library’ ලෙස කොළඹදී ආරම්භ වූ මෙම පුස්තකාලය, පසුව ‘Ceylon Medical Library’ ලෙසත්, 1972 සිට ‘Sri Lanka Medical Library’ ලෙසත් ප්‍රතිනාමකරණය විය. 16 වැනි සියවසට අයත් අතිදුර්ලභ වෛද්‍ය ග්‍රන්ථ රැසක් එහි මුල් මුද්‍රිත ස්වරූපයෙන්ම අදටත් මෙහි සුරක්ෂිතව පවතින අතර, එය වෛද්‍ය වෘත්තිකයන්ගේ හා පර්යේෂකයන්ගේ නොමඳ ගෞරවයට පාත්‍ර වූ දැනුම් ගබඩාවකි.
මෙහිදී සමාරම්භක දේශන පවත්වනු ලැබුවේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක, මහාචාර්ය නෙවිල් පෙරේරා සහ ජාතික විද්‍යා පදනමේ සභාපති විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර යන මහත්වරුන් විසිනි.
මෙරට වෛද්‍ය ක්ෂේත්‍රයේ අතීත මුල් සොයායමින් විශේෂඥයන් රැසක් මෙහිදී දේශන පැවැත්වූහ:
මහාචාර්ය සරෝජ් ජයසිංහ මහතා: “ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාසය සුවිශේෂී විමර්ශනය”
ආචාර්ය ගාමිනී විජේසූරිය මහතා: “ශ්‍රී ලංකාවේ ප්‍රභවයන් මත පදනම් වූ වෛද්‍ය ඉතිහාසයක් කරා”
මහාචාර්ය සේනක පිලපිටිය මහතා: “දේශීය චිකිත්සාව: ශ්‍රී ලංකාවේ ස්වදේශීය වෛද්‍ය ක්‍රමය”
විශේෂඥ වෛද්‍ය හෙන්රි රාජරත්නම් මහතා: “ලංකාවේ පළමු වෛද්‍ය විද්‍යාලය: සැමුවෙල් ෆිස්ක් ග්‍රීන් සහ මණිපායේ බටහිර වෛද්‍ය අධ්‍යාපනයේ ආරම්භය”
මහාචාර්ය ඉනෝකා කොරියා මහත්මිය: “කොළඹ වෛද්‍ය විද්‍යාලයේ ආරම්භය සහ මුල් සංවර්ධනය”
වෛද්‍ය දර්ශි තෝරදෙනිය මහත්මිය: “ශ්‍රී ලංකාවේ වෛද්‍ය ඉතිහාස විනය ස්ථාපිත කිරීම”
මීට අමතරව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, විශේෂඥ වෛද්‍ය ජයාන් මෙන්ඩිස් සහ විශේෂඥ වෛද්‍ය සුමාල් නන්දසේන යන මහත්වරු ද මෙහිදී විශේෂ දේශන පවත්වමින් අදහස් දැක්වූහ.
පුස්තකාලය 183 වන වසරට පාබවන මෙම මොහොතේ, මෙරට වෛද්‍ය උරුමය, නවතම වෛද්‍ය සොයාගැනීම්, සායනික අත්දැකීම් සහ වෛද්‍ය තාක්‍ෂණයන් අනාගත පරම්පරාව උදෙසා සුරක්ෂිත කිරීමේ තිරසාර ජාතික ප්‍රයත්නයක ආරම්භය මෙම සමුළුව හරහා සනිටුහන් වන බව පැමිණ සිටි විද්වතුන් එක හඬින් අවධාරණය කළහ.

