“මහනුවරින් විතරක් බඳවා ගන්න තිබුණා! හැබැයි අපි පරණ සෙල්ලම් නෑ!” – ඇමති ලාල්කාන්තගෙන් රාජ්‍ය සේවයට ප්‍රබල අනතුරු ඇඟවීමක්
කොළඹ, ජූනි 02: “අපේ වැඩේ අපි දේශපාලන මැදිහත් වීම් නැතුව අකුරටම කළා. දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ වැඩේ. පත්වීම් ගත්ත ගමන් ස්ථාන මාරු හදාගන්න ඇමතිලා හම්බවෙන්න එන්න ලෑස්ති වෙන්න එපා!” යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා නවක රාජ්‍ය නිලධාරීන්ට දැඩිව ප්‍රකාශ කළේය.
අමාත්‍යවරයා මේ බව අවධාරණය කළේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් ක්ෂේත්‍ර සහායක තනතුරු සඳහා තේරී පත් වූ 71 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම වෙනුවෙන් අද (2) මිනින්දෝරු දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවැති නිල උත්සවය අමතමිනි.
මෙහිදී රටේ සමස්ත රාජ්‍ය සේවයම සහ දේශපාලන සංස්කෘතිය විවේචනයට ලක් කරමින් අමාත්‍යවරයා සෘජු ප්‍රකාශ කිහිපයක් සිදු කළේය.
අතීතයේ රාජ්‍ය සේවකයාට සහ දේශපාලනඥයාට සමාජයේ ඉහළම ගෞරවයක් තිබූ බව සිහිපත් කළ අමාත්‍යවරයා, 1960 දශකයෙන් පසු එම පද්ධති දෙකම බිඳ වැටුණු බව පිළිගත්තේය.
“තවමත් සමහර රාජ්‍ය ආයතනවල වෙලාවට වැඩ වෙන්නේ නැහැ. කීයක් හරි දුන්නම තමයි වැඩේ කරන්නේ. මිනිස්සු කාර්යාලවලට ඇවිත් රස්තියාදු වෙනවා. එන පුරවැසියාට වඩා රාජ්‍ය සේවකයා උඩින් ඉන්නවා වගේ මානසිකත්වයක් තියෙන්නේ. මේ තත්ත්වය වහාම වෙනස් විය යුතුයි.”
දේශපාලන හිතවත්කම් මත පත්වීම් දීමේ පරණ ක්‍රමය තමන් සහ මුළුමනින්ම අහෝසි කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, මෙම 71 දෙනා බඳවා ගත්තේ විභාගයට පෙනී සිටි 570ක් අතරින් පූර්ණ විනිවිදභාවයකින් යුතුව බව පැවසීය.
“මේ පත්වීම්වලට අපි කිසිම දේශපාලන මැදිහත් වීමක් කළේ නැහැ. පරණ විදිහට වුණා නම් මේ පත්වීම් ලබපු ඔක්කොම ඉන්න ඕනේ මගේ ඡන්ද දිස්ත්‍රික්කය වෙන මහනුවර. හැබැයි අපි එහෙම කළේ නැහැ. අපි රටටම ආදර්ශයක් දීලා තියෙනවා.” යැයිද ඔහු පැවසීය.
“රැකියාව ගත්ත ගමන් ස්ථාන මාරු ඉල්ලන් ඇමති ළඟට එන්න එපා”
බඳවාගත් පිරිස් දිවයින පුරා පවතින පුරප්පාඩු අනුව අනුයුක්ත කරන බවත්, සේවයට බැඳුණු වහාම තමන්ට කැමති ප්‍රදේශ ඉල්ලා දේශපාලන බලපෑම් කිරීමට උත්සාහ නොකරන ලෙසත් අමාත්‍යවරයා අවධාරණය කළේය.
“රැකියාවට එනකොටම ඉල්ලන පැත්තටම පත්වීම දෙන්න ඕනේ කියන පුදුම සහගත මානසිකත්වයක් සමහරුන්ට තියෙනවා. පත්වීම ගත්ත ගමන් ස්ථාන මාරුවීම් හදාගන්න ඇමති හම්බ වෙන්න නම් එන්න එපා.” යැයි අමාත්‍ය ලාල්කාන්ත මහතා අවසාන වශයෙන් දැඩිව කියා සිටියේය.

