15 හැවිරිදි දැරියක අපයෝජනය කළ බහිරවකන්දේ භික්ෂුවක් රිමාන්ඩ්: ආධාර දුන් කාන්තාවකට ඇප!

මහනුවර, බහිරවකන්ද ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවසන 25 හැවිරිදි භික්ෂුවක් 15 හැවිරිදි බාලවයස්කාර දැරියක ලිංගික අපයෝජනයට ලක්කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ සැකකාර භික්ෂුව අදාළ දැරියගේ පියාගේම සහෝදරයෙකු (බාප්පා) වන බවයි. සිදුකළ දීර්ඝ විමර්ශනවලින් අනතුරුව මැයි 20 වැනිදා සැකකාර භික්ෂුව අත්අඩංගුවට ගෙන ඇත.

මෙම අශිෂ්ට අපරාධයට ආධාර සහ අනුබල දීමේ චෝදනාව මත බහිරවකන්ද ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි කාන්තාවක ද එදිනම පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා මැයි 21 වැනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි. එහිදී කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකාර භික්ෂුව  ජුනි මස 1 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.

සැකකාර කාන්තාව රුපියල් ලක්ෂ 2 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළේය.

සමස්ත සමාජයේම දැඩි පිළිකුලට හා විවේචනයට ලක්ව ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

උතුම් සිවුරට සහ ලේ නෑකම්වලට මුවා වී මෙවැනි නින්දිත අපරාධ සිදුකරන පුද්ගලයන්ට තරාතිරම නොබලා උපරිම දඬුවම් පැමිණවීම නීතියේ මෙන්ම වගකිවයුතු බලධාරීන්ගේ ද පරම වගකීමකි.

Share.
Leave A Reply