ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) 114 වන වාර්ෂික සමුළුව “සමාජ සාධාරණත්වය ඉදිරියට ගෙන යමින් යහපත් රැකියා ප්‍රවර්ධනය කිරීම” යන තේමාව යටතේ අද (01) ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී ආරම්භ විය. සාමාජික රටවල් 187 ක රජයන්, සේවායෝජකයින් සහ කම්කරු නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සමුළුව එළැඹෙන 12 වැනිදා දක්වා පැවැත්වේ.
‘කම්කරු පාර්ලිමේන්තුව’ ලෙස හැඳින්වෙන මෙම සමුළුවට සහභාගී වීම සඳහා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා ත්‍රෛපාර්ශ්වික නියෝජිත පිරිසක් (31 දින ) දිවයිනෙන් පිටත්ව ගියහ. ඩිජිටල් ආර්ථිකය තුළ යහපත් රැකියා ප්‍රවර්ධනය, සේවා ස්ථානවල ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සහ ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව මෙවර සමුළුවේ ප්‍රධාන අවධානයට ලක්වන අතර, සාධාරණ සේවා කොන්දේසි වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ ජාත්‍යන්තර ප්‍රජාව වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී අවස්ථාව හිමි වේ.

