ආර්ථික මර උගුල: මුදල් අච්චු ගැසීම ට්‍රිලියන 2.1 පනී! රුපියල වේගයෙන් බාල්දු වෙයි!
පුළුල් ඒකාබද්ධ මුදල් සැපයුම (සල්ලි අච්චු ගැසීම) රු. ට්‍රිලියන 2.1 ඉක්මවයි
සංසරණයේ පවතින ව්‍යවහාර මුදල් ප්‍රමාණය මාස 17ක් තුළ රු. මිලියන 303,956කින් ඉහළට
IMF නිර්දේශ නොතකා, මහ බැංකුව ඩොලරයට නිල නොවන උපරිම මිලක් (capped price) පනවයි.
ශ්‍රී ලංකාව දැඩි ආර්ථික අවදානමක: පුළුල් මුදල් සැපයුම රු. ට්‍රිලියන 2.1 ඉක්මවයි! ඩොලරයට නිල නොවන පාලන මිලක්?
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වක්‍ර උපක්‍රම භාවිත කරමින් සිදුකරන මුදල් මැවීම (සල්ලි අච්චු ගැසීම) හේතුවෙන් රටේ සමස්ත ආර්ථිකය දැඩි අර්බුදකාරී මාවතකට අවතීර්ණ වෙමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය (CHR) විශේෂ පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් අනතුරු අඟවයි.
රජයේ නොපියවූ සමස්ත ණය බර ඉහළ යෑම, විදේශ සංචිත එක තැන පල්වීම සහ රුපියල වේගයෙන් අවප්‍රමාණය වීම හමුවේ රටේ මූල්‍ය ස්ථාවරත්වය දැඩි ලෙස සලිත වී ඇති බව එම සංවිධානයේ විධායක අධ්යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ප්‍රකාශ කළේ ය.
15 මාසයකින් රු. බිලියන 2,146 ක් වෙළෙඳපොළට!
ශ්‍රී ලංකා මහ බැංකුවේ සතිපතා ආර්ථික දර්ශක විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි හේතුවෙන් දෛනික අවශ්‍යතා සඳහා සාම්ප්‍රදායිකව මුදල් අච්චු ගැසීමට නොහැකි වුවද, මහ බැංකුව වක්‍ර උපක්‍රම හරහා මුදල් මවමින් සිටින බවයි.
වාණිජ බැංකුවලින් රුපියල් ලබා දී ඩොලර් මිලදී ගැනීම හරහා මෙම මුදල් මැවීම සිදුකර ඇත.
පුළුල් මුදල් සැපයුමේ (M2b) අසාමාන්‍ය වර්ධනය: 2025 ජනවාරි මස රුපියල් බිලියන 14,439.1 ක් වූ පුළුල් මුදල් සැපයුම, 2026 මාර්තු වන විට රුපියල් බිලියන 16,585.7 දක්වා රුපියල් බිලියන 2,146.1 කින් (ට්‍රිලියන 2.1 කින්) ප්‍රසාරණය වී ඇත. සංසරණයේ පවතින නෝට්ටු ප්‍රමාණය ඉහළ යාම: 2025 ජනවාරි 1 වන දින රු. මිලියන 1,351,312 ක් වූ සංසරණයේ පැවති ව්‍යවහාර මුදල් ප්‍රමාණය, 2026 මැයි 22 වන විට රු. මිලියන 1,655,268 දක්වා රු. මිලියන 303,956 කින් (මාස 17 ක් තුළ) කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් තිබේ.
ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනින් යුත් මෙම නව මුදල් නෝට්ටු වෙළෙඳපොළට එකතු වීම උද්ධමනය සෘජුවම ඉහළ නැංවීමට හේතු වන බව ආර්ථික විද්‍යාත්මකව පෙන්වා දිය හැකිය.
IMF කොන්දේසි උල්ලංඝනය කරමින් ඩොලරයට නිල නොවන ‘කැප් එකක්’ (Capped Price) රුපියල අවප්‍රමාණය වීම වැළැක්වීම සඳහා මහ බැංකුව විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ප්‍රතිපාදන පවා උල්ලංඝනය කරමින් අන්තර් බැංකු හුවමාරුව සඳහා ඩොලරයට රුපියල් 330 ක නිල නොවන පාලන මිලක් පනවා ඇති බව වාර්තා වේ.
මහ බැංකු අධිපතිවරයා විසින් වාණිජ බැංකු ප්‍රධානීන් කැඳවා ඩොලරයේ අගය රු. 329 – 335 සීමාවේ පවත්වා ගැනීමට අවිධිමත් ලෙස උපදෙස් දී ඇති අතර, ආනයනකරුවන්ට මුදල් රට තුළට ගෙන ඒමට තිබූ දින 90 ක කාලය දින 30 දක්වා සීමා කර ඇත.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාමාර්ග හමුවේ වුවද රුපියල පීඩනයට ලක්ව ඇති අතර, පසුගිය සතියේ පැවති රු. 327.35 සහ පසුගිය වසරේ පැවති රු. 299.61 ක අගයන් අභිබවා යමින් මේ වන විට ඩොලරයට සාපේක්ෂව රුපියල 7.2% කින් අවප්‍රමාණය වී රු. 353.17 දක්වා පහත වැටී ඇත.
මෙම තත්ත්වය 2021 වසරේ ක්‍රියාත්මක කළ අසාර්ථක පැලැස්තර විසඳුම් සිහිගන්වන බව විශේෂඥයෝ පවසති.
සංචිත එක තැන පල්වෙයි – මධ්‍යම රජයේ ණය බර රු. බිලියන 1,754 කින් ඉහළට!
දැඩි ලෙස මුදල් ප්‍රසාරණය කළද, රටේ විදේශ සංචිත සහ ණය කළමනාකරණය සම්බන්ධයෙන් බලාපොරොත්තු සුන්වන සුලු චිත්‍රයක් මතු වේ:
2025 මාර්තු මාසයේ ඩොලර් මිලියන 6,531 ක් වූ විදේශ සංචිත, 2026 අප්‍රේල් අවසානය වන විට වර්ධනය වී ඇත්තේ ඩොලර් මිලියන 6,759 දක්වා සොච්චමකින් පමණි.
2023-2024 වසරවල මසකට ඩොලර් මිලියන 175 බැගින් සංචිත වර්ධනය වුවද, වත්මන් මුදල් සැපයුම ඉහළ යාම හමුවේ සංචිත එක තැන පල් වෙයි. IMF ණයවලින් සංචිත පිරවිය නොහැකි බව ද ඔහු කීය.
ඉදිරි දිනවලදී අයවැය මූල්‍යකරණය සඳහා IMF වෙතින් ලැබීමට නියමිත ඩොලර් මිලියන 700 ක මුදල භාණ්ඩාගාරයේ දෛනික කටයුතු (අයවැය පාලනය) සඳහා පමණක් වෙන් කර ඇති බැවින් එය සංචිත ගොඩනැගීමට යොදාගත නොහැක.
2024 නොවැම්බර් මාසයේ රුපියල් බිලියන 28,240.22 ක් වූ මධ්‍යම රජයේ නොපියවූ සමස්ත ණය ප්‍රමාණය, 2025 වසර අවසානය වන විට රුපියල් බිලියන 29,994.69 දක්වා රුපියල් බිලියන 1,754.47 කින් අතිවිශාල ලෙස ඉහළ ගොස් ඇත.
පොලී අනුපාත සහ භාණ්ඩ මිල ඉහළටප්රකට ආර්ථික විද්‍යාඥ ස්ටීව් හැන්කේ (Steve Hanke) ප්‍රකාශ කරන පරිදි “උද්ධමන කතාව යනු මුදල් සැපයුමේ කතාවමය” (Inflation Story = Money Supply Story).
ඒ අනුව වෙළෙඳපොළ තුළ අසාමාන්‍ය ලෙස මුදල් සැපයුම ඉහළ යාම හේතුවෙන් ඉදිරි දින කිහිපය තුළ බැංකු පොලී අනුපාත ඉහළ යාම වැළැක්විය නොහැකි වනු ඇත.
මීට සමගාමීව ඉන්ධන මිල මෙන්ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු සෑම භාණ්ඩ හා සේවාවකම මිල ගණන් සීඝ්රයෙන් ඉහළ යාමට නියමිතය. රාජ්‍ය මූල්‍ය පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය පළුදු වෙමින් පවතින මෙම තීරණාත්මක මොහොතේ, වත්මන් රජය වහාම ක්‍රියාත්මක වී රටේ සිටින මූල්‍ය විශේෂඥයන්ගේ, බුද්ධිමතුන්ගේ සහ වෘත්තිකයන්ගේ සහාය ලබා ගනිමින් මෙම ආර්ථික අර්බුදයට විද්‍යාත්මක විසඳුම් සෙවිය යුතු බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය දැඩිව සිය ලිපිය මගින් අවධාරණය කර තිබේ.

