ශ්‍රී ලංකා රජය විසින් ඔස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අදාළ ණය හිමියාට නොව වෙනත් පාර්ශ්වයකට බැර වී ඇති බවත්, නිදහසින් පසු ඉතිහාසයේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ සිදු වූ බරපතළම වගකීම් විරහිත ක්‍රියාව මෙය බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (05) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් විපක්ෂ නායකවරයා කියා සිටියේ, ව්‍යාජ ඊමේල් පණිවුඩයක් මත පදනම්ව මෙම ගෙවීම් විස්තර වෙනස් කර ඇති බවත්, අදියර 14ක අනුමත කිරීමේ පටිපාටියක් පවතිද්දී මෙම වංචාව සිදුවූයේ කෙසේද යන්න රජය පැහැදිලි කළ යුතු බවත්ය.
විපක්ෂ නායකවරයා මතු කළ ප්‍රධාන කරුණු:
තොරතුරු වසන් කිරීම: ජනවාරි මාසයේදී අනාවරණය වූ මෙම මූල්‍ය අලාභය මාස කිහිපයක් යනතුරු පාර්ලිමේන්තුවට වාර්තා නොකර සැඟවීමට රජය උත්සාහ කළේ ඇයි?
මෙම සිද්ධියට අමතරව ඇමරිකානු තැපෑලට ගෙවූ ඩොලර් ලක්ෂ 6ක ගැටලුවක්, අස්වැසුමේ දෙවරක් ගෙවීම් සිදු කිරීම සහ ප්‍රංශ රජයට අදාළ ණය පත්‍රිකා අතුරුදන් වීම පිළිබඳවද ඔහු කරුණු විමසීය.
වගවීම: 2024 අංක 33 දරන රාජ්‍ය ණය කළමනාකරණ පනත යටතේ මෙහි වගකීම දැරිය යුතු මුදල් අමාත්‍යාංශයේ සහ මහ බැංකුවේ නිලධාරීන් කවුද?
අපරාධ පරීක්ෂණ: මෙම වංචාව හෙළි වන තුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීමට ප්‍රමාද වූයේ මන්දැයි ප්‍රශ්න කළ ඔහු, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන් තනතුරුවල සිටියදී ස්වාධීන පරීක්ෂණයක් කළ නොහැකි බවද අවධාරණය කළේය. මෙම මුදල් අහිමි වීම හරහා ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ ‘තාක්ෂණික ණය පැහැර හරින්නෙකු’ (Technical Default) බවට පත්වීමේ අවදානමක් පවතින බව පෙන්වා දුන් සජිත් ප්‍රේමදාස මහතා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වගන්තිය ප්‍රකාරව රජය මේ පිළිබඳව වහාම සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කළ යුතු බවට ඉල්ලා සිටියේය.

