අයති: විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ජීවිතයට අලුත් එළියක්!

රාගම ‘අයති’ මධ්‍යස්ථානයේ දරුවන් 16,000කගේ හෙට දවස වෙනුවෙන් රජයේ හදිසි අවධානය!

ලියාපදිංචි දරුවන් 16,000 යි; දිනකට 100 ක් සේවය පතා එනවා” – මහාචාර්ය සමන්මලී සුමනසේන මහතා කියයි.

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ එකම බලාපොරොත්තුව බවට පත්ව ඇති රාගම “අයති” (AYATI) ජාතික මධ්‍යස්ථානයේ මානව සම්පත සහ සේවා ධාරිතාව වහාම ඉහළ නැංවීමට රජයේ විශේෂ අවධානය යොමු වී තිබේ.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා පසුගියදා මෙම මධ්‍යස්ථානයේ සිදුකළ විශේෂ නිරීක්ෂණ චාරිකාවකදී හෙළි වූයේ, අපේ රටේ අනාගතය බඳු දරුවන් දහස් ගණනක් මෙහි සේවය අපේක්ෂාවෙන් දෑස් දල්වාගෙන සිටින බවයි.

මධ්‍යස්ථානයේ වෛද්‍ය කණ්ඩායමේ ප්‍රධානී, ළමා රෝග විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සමන්මලී සුමනසේන මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද දත්ත පද්ධතියට අනුව තත්ත්වය මෙසේය:

දැනටමත් දරුවන් දහසයදහසක් මෙම මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර සහ මඟපෙන්වීම් අපේක්ෂාවෙන් ලියාපදිංචි වී ඇත.

දිවයිනේ නන්දෙසින් දිනකට දරුවන් 60 සිට 100 දක්වා ප්‍රමාණයක් සේවා ලබාගැනීම සඳහා රාගම වෙත පැමිණෙති.

පැමිණෙන දරුවන් සංඛ්‍යාව ඉහළ වුවද, ඔවුන්ට ලබාදෙන සේවාවේ ගුණාත්මකභාවය පවත්වාගෙන යාමට නම් මානව සම්පත (වෛද්‍යවරුන් සහ චිකිත්සකයින්) කඩිනමින් වැඩි කළ යුතු බව මෙහිදී අවධාරණය විය.

ආදරය සහ විද්‍යාව මුසු වූ සත්කාරය. අක්කර දෙකක භූමි භාගයක පැතිරුණු “අයති” මධ්‍යස්ථානය හුදෙක් රෝහලක් නොව, දරුවන්ගේ ලෝකය දිනවන තක්සලාවකි.

කථන, භෞත සහ වෘත්තීය චිකිත්සාවන් (Speech, Physio & Occupational Therapy) හරහා දරුවන්ගේ කායික හා මානසික වර්ධනය සිදු කෙරේ.

ශ්‍රවණ ප්‍රතිකාර (Audiology) සහ දුරස්ථ වෛද්‍ය සේවා (Tele-health) මගින් දුර බැහැර දරුවන්ට පවා සහනය සලසයි.

දරුවා පමණක් නොව, එම දරුවාගේ පවුලේ අයගේ මානසික සුවය වෙනුවෙන් පවුල් චිකිත්සාවන් ද මෙහි ක්‍රියාත්මක වේ.

මධ්‍යස්ථානය නිරීක්ෂණය කළ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විඡේමුණි මහතා ප්‍රකාශ කළේ, මෙම දරුවන් වෙනුවෙන් ලබාදෙන සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම රජයේ ප්‍රමුඛතාවයක් බවයි. විශේෂයෙන්ම මධ්‍යස්ථානයේ පවතින කාර්ය මණ්ඩල හිඟය පියවීමටත්, ඉදිරි සැලසුම් බලගැන්වීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා කඩිනම් පියවර ගන්නා බව ඔහු සහතික විය.

මෙය හුදෙක් ගොඩනැගිල්ලක් නොවේ, මෙය දහස් ගණනක් මව්පියන්ගේ කඳුළු පිසදාන, දරුවන්ගේ හෙට දවස ගොඩනගන ජාතික වගකීමකි.

කැලණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අධීක්ෂණය යටතේ සෞඛ්‍ය, අධ්‍යාපන සහ සමාජ සේවා යන අමාත්‍යාංශ තුනෙහිම සහයෝගීතාවයෙන් ක්‍රියාත්මක වන මෙම ජාතික මධ්‍යස්ථානය, ශ්‍රී ලාංකේය දරුවන් වෙනුවෙන් ඉදි වූ සැබෑ ආදරයේ නිකේතනයකි.

Share.
Leave A Reply