බැරලයකින් ඩොලර් 130ක් පාඩුයි: රුසියානු සහනය මගහැර ඉන්දියාවෙන් තෙල් ගන්නේ කොමිස් ගැසීමටද?  

ජනපති අනුරට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් රතු එළියක්: “භූ දේශපාලන උගුලට අසුවී සැබෑ මිතුරන් අහිමි කරගන්න එපා”  

රුසියානු ඩීසල් බැරලය $150 යි – ඉන්දියන් ඩීසල් බැරලය $286 යි! මේ විනාශය වළක්වන්න ජනපති මැදිහත් වෙන්නේ නැත්තේ ඇයි?  

රුසියාවේ අඩු මිල තෙල් මග හැර ඉන්දියාවෙන් වැඩි මිලට තෙල් ගැනීම පිටුපස “ආර්ථික ඝාතකයින්” සිටිනවාද? – දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්!

රුසියාවෙන් ඉතා සහනදායී කොන්දේසි යටතේ ඛනිජ තෙල් ලබාගැනීමට ඇති අවස්ථාව පැහැර හරිමින්, රජය වැඩි මිලට තෙල් මිලදී ගැනීම හරහා රට යළිත් දැවැන්ත අර්බුදයකට ඇද දමමින් සිටින බවට දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය චෝදනා කරයි.

එම සංවිධානයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කරමින් මේ බව අවධාරණය කර ඇත. 

රුසියානු ඩීසල් බැරලයක් රජයන් දෙක අතර ගනු දෙනුවක් ලෙස ඩොලර් 150-160 අතර මිලකට ලබාගත හැකිව තිබියදී, ඉන්දියානු සමාගමක් හරහා බැරලයක් ඩොලර් 286ක් වැනි ඉහළ මිලකට මිලදී ගැනීම බරපතල ගැටලුවකි.

බලශක්ති අර්බුදයකට මුහුණ දීමට නම් සහන මිලට තෙල් ලබාදීමට එකඟ වී ඇති රුසියාවේ තානාපතිවරයා හමුවිය යුතු වුවත් නව බලශක්ති අමාත්‍යවරයා බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා හමුවී සාකච්ඡා කිරීම තර්කානුකූල නොවන බව ලිපියේ සඳහන් වේ. 

අඩු මිලට තෙල් ලබාගැනීම වළක්වාලීම පිටුපස මහා බැංකුව සහ භාණ්ඩාගාරය තුළ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඒජන්තයින් යැයි සැලකෙන “ආර්ථික ඝාතකයින්” සිටින බවට එම ව්‍යාපාරය සැක පළ කරයි. 

රජය ඉන්දියාවේ සහ ඇමරිකාවේ භූ දේශපාලන වුවමනාවන් මත ජනතා පරමාධිපත්‍යය පාවා දෙමින් කටයුතු කරන්නේද යන්න පිළිබඳවද මෙහිදී ප්‍රශ්න කර ඇත. 

රජයන් දෙකක් අතර සෘජු ගනුදෙනු සිදුකිරීමේදී අතර මැදියන්ට කොමිස් මුදල් ලබා ගැනීමට අවස්ථාව අහිමි වන බැවින්, දූෂිත බලවේග විසින් රුසියානු තෙල් ගනුදෙනුව වළක්වන බවටද චෝදනා එල්ල වේ. 

රුසියාව, චීනය සහ ඉරානය වැනි ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරන් අහිමි කර ගැනීමට කිසිදු රාජ්‍ය නායකයෙකුට අයිතියක් නැති බවත්, ෂීෂෙල්ස් රාජ්‍යය පවා රුසියාවෙන් තෙල් ලබාගන්නා පසු බිමක ශ්‍රී ලංකාව පසුබට වීම කණගාටුදායක බවත් එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. 

එබැවින් වහාම ජනාධිපතිවරයා මේ සඳහා පෞද්ගලිකව මැදිහත් වී රුසියාවෙන් සහන මිලට තෙල් ලබාගැනීමට කටයුතු කළ යුතු බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටිති.   

Share.
Leave A Reply