ලොව පුරා රටවල් ගණනාවක සැරිසරමින් සාමයේ පණිවිඩය බෙදාහදා ගත්, ලෝකවාසී ජනතාවගේ ඉමහත් ආදරයට පාත්‍ර වූ ‘ආලෝකා’ (Aloka) සුනඛයා අද (21) පෙරවරුවේ දිවයිනට පැමිණියේය. ඒ, ඇමරිකාවේ සිට ක්‍රියාත්මක වන ‘ඒහි පස්සිකො’ (Come and See) සාම පාද යාත්‍රාව සඳහා නායකත්වය දෙන පූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්රමුඛ මහා සංඝරත්නය සමඟිනි.
මිනිස් සහ සත්ව බැඳීමේ සාමකාමී පෙරගමන්කරු
සාම පා ගමනක් යනු හුදෙක් මිනිසුන්ගේ එකතුවක්ම පමණක් නොව, සකලවිධ සත්ත්ව ප්‍රජාවටම මෙත් සිත පැතිරවීමක් බව ‘ආලෝකා’ගේ පැමිණීමෙන් සංකේතවත් වේ. ඇමරිකාවේ සාම පාගමන පුරා පූජ්‍ය පඤ්ඤාකර හිමියන් අසලින්ම රැඳී සිටි මෙම සුනඛයා, මෙරට සංවිධානය වන දින හතක සාම පා ගමන සඳහා ද එක්වීම විශේෂත්වයකි.
රාජ්‍ය ගෞරව සහිත පිළිගැනීමක්
කටුනායක ගුවන්තොටුපොළේදී පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු පිරිස පිළිගැනීමට බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි සහ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු එක්ව සිටියහ.
ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියසින් ඇරඹෙන මෙහෙවර
අද පස්වරුවේ අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි මහා සෑය අභියස පැවැත්වෙන විශේෂ ආගමික වතාවත්වලින් අනතුරුව මෙම සාම චාරිකාව ආරම්භ වේ. එහිදී අටමස්ථානාධිපති හිමියන් විසින් පිරිනමන විශේෂ ශ්‍රී මහා බෝධි අංකුරය ද රැගෙන මෙම කණ්ඩායම හෙට (22) දඹුල්ලෙන් පාගමන ආරම්භ කිරීමට නියමිතය.
සාම පා ගමනේ මග සලකුණු:
දඹුල්ලෙන් ඇරඹෙන මෙම පාගමන නාඋල, මාතලේ, මහනුවර, කෑගල්ල සහ කැලණිය හරහා අප්‍රේල් 28 වන දින කොළඹ නිදහස් චතුරස්‍රය වෙත ළඟා වීමට නියමිතය.
ජනාධිපතිතුමාගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන නිමාව
අප්‍රේල් 28 වන දින නිදහස් චතුරස්රයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ශ්‍රී මහා බෝධි අංකුරය ඇමරිකාවේ සිට වැඩම කළ මහා සංඝරත්නය වෙත රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් පූජා කරනු ඇත.
මිනිස් සංහතියේ සාමය වෙනුවෙන් සතෙකු දක්වන මෙම දායකත්වය, මෙරට සාම පා ගමන් ඉතිහාසයට අලුත් අර්ථකථනයක් එක් කරන බව නොඅනුමානය.

