බිලියන 15ක ‘සහනාධාරය’ ඇස් බැන්දුමක්ද? සත්‍ය දත්ත මෙන්න!

ගල් අඟුරු සභාපති පන්නන්න සංජීව ධම්මිකගෙන් ආණ්ඩුවට පැය 48ක ‘අන්තිම කැමැත්ත’

අප්‍රේල් පළමුවැනිදා විදුලි බිල සංශෝධනය කර දින හතක් යන්නටත් පෙර, යළිත් වතාවක් මෙරට පාරිභෝගිකයාගේ ගෙල සිර කරමින් විදුලි බිල 15%කින් ඉහළ නැංවීමට මහා පරිමාණ මූල්‍ය කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය රට හමුවේ අනාවරණය කරයි.

නුගේගොඩදී පැවති හදිසි මාධ්‍ය හමුවකදී එම සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පෙන්වා දුන්නේ, මෙම වැඩි කිරීම හරහා ජනතාවගෙන් රුපියල් බිලියන 34ක අතිරේක මුදලක් කොල්ලකෑමට සැලසුම් කර ඇති බවයි.

දත්ත හෙළිදරව්ව: බිලියන 15 බොරුවක්ද?

රජය පවසන පරිදි ගල් අඟුරු පාඩුව පියවීමට බිලියන 15ක සහනයක් ලබා දෙන්නේ නම්, ඇත්ත වශයෙන්ම සිදුවිය යුත්තේ විදුලි බිල අඩු කිරීම මිස වැඩි කිරීම නොවන බව ධම්මික මහතා සංඛ්‍යාලේඛන සහිතව ඔප්පු කළේය.

අපේක්ෂිත අතිරේක ආදායම: රුපියල් බිලියන 34 කි.

සැබෑ ගල් අඟුරු පාඩුව: රුපියල් බිලියන 20 කි.

රජය දෙන සහනාධාරය: රුපියල් බිලියන 15 කි.

මේ අනුව, රජය සහනාධාරය ලබා දුන් පසු ඉතිරි වන්නේ බිලියන පහක පමණ හිඟයක් වුවද, ජනතාවගෙන් බිලියන 34ක් අය කර ගැනීමට යාම හරහා රුපියල් බිලියනයකට අධික අතිරික්ත ලාභයක් උපයා ගැනීමට බලධාරීන් සැරසෙන බවත්, මෙය ජනතාව අමු අමුවේ රවටන “ඇස් බැන්දුමක්” බවත් ඔහු සඳහන් කළේය.

2027 වසර සඳහා මෙට්‍රික් ටොන් ලක්ෂ 22.5ක දැවැන්ත ගල් අඟුරු ටෙන්ඩරයට අදාළ සාකච්ඡා ලබන 23 වැනිදා ඇරඹීමට නියමිතව තිබියදී, වංචා චෝදනා එල්ල වූ සභාපතිවරයා තවමත් ධුරයේ රැඳී සිටීම පිටුපස රහසක් ඇතැයි සංගමය චෝදනා කරයි.

“හඬපට මගින් හොරකම ඔප්පු වෙලා තියෙද්දී, විදුලිබල ඇමැති සහ ලේකම් ගෙදර යද්දී, ගල් අඟුරු සභාපති විතරක් තාම පුටුවේ ඉන්නේ කාගේ හයියටද?” යනුවෙන් සංජීව ධම්මික මහතා ප්‍රශ්න කර සිටියි.

විදුලි බිල වැඩි කිරීමේ යෝජනාව ලැබී සති දෙකක් ගතවී ඇතත් මහජන උපයෝගීතා කොමිසම මුනිවත රැකීම හේතුවෙන් මෙරට ව්‍යාපාරික ක්ෂේත්‍රය දැඩි අවිනිශ්චිතතාවකට පත්ව ඇති බවත්, මෙය රටේ ආයෝජන වාතාවරණය විනාශ කරන ක්‍රියාවක් බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

ගල් අඟුරු සභාපතිවරයා වහාම ධුරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුවට දින දෙකක කාලයක් ලබා දෙන බවත්, එසේ නොමැති වුවහොත් ජනතාව සමඟ එක්ව රටම අවදිකරන දැවැන්ත ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවත් විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කළේ ය.

Share.
Leave A Reply