ලංකාවේ වතු ආශ්රිත මාර්ග කිසිදු රාජ්‍ය ආයතනයකට අයත් නොමැති නිසා සංවර්ධනය කිරීමට නොහැකි වී ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ දී (04) පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේ ය.
වතු ආශ්‍රිතව ඇති මාර්ග එක් පැත්තකින් මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නැති අතර අනෙක් අතට පළාත් සභාවලට අයිති නැති බව ද ඒ මහතා පැවසීය.
පළාත් පාලන ආයතනවලට අයිති නැති බවත් පැවසූ අමාත්‍යවරයා මෙම වතු මාර්ග වලට පසුගිය කාලයේ අයිතිකාරයෙක් නොසිටි නිසා මේවා සංවර්ධනය නොවුනු බවත් කියා සිටියේ ය.
සමාගම් යටතේ තිබුණු වතු මාර්ග ඔවුන් නඩත්තු නොකලේ ආර්ථික ශක්තියක් නොමැති නිසා යැයි කියමින් ඔවුන්ද අත පිසදා ගත් නිසා රජය මෙම සියළු මාර්ග සංවර්ධනය කිරීමට තීරණය කල බවත් අමාත්‍යවරයා කියා සිටියේ ය.
මලයගම් ප්‍රජාව ජීවත්වන වතුකරය තුළ ඇති අබලන් වූ මාර්ග අලුත් වැඩියා කොට සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ 5,000 ක මුදලක් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබුණු බවත් ඒ හරහා වතු ආශ්රිත මාර්ග විශාල ප්‍රමාණයක් සංවර්ධනය කරන්නට පියවර ගන්නා බව ද ඒ මහතා කීය.
ඒ අනුව ඇතැම් මාර්ග කොන්ක්‍රීට් කිරීමටත් තවත් මාර්ග කාපට් කිරීමටත් කටයුතු කරන බවත් කඳුකර ජනතාවට මාර්ග අබලන්ව පැවතීම ද ප්‍රශ්නයක් බවත් සඳහන් කල අමාත්‍යවරයා එම ජනතාවට ඇති එම ප්‍රශ්න මේ ආකාරයෙන් එකින් එක විසඳීමට වත්මන් රජය කටයුතු කරන බවත් සඳහන් කළේ ය.
මේ ආකාරයට වතු මාර්ග අබලන්ව පැවතීම රටේ නිෂ්පාදනයට, කර්මාන්තයේ දියුණුවට සෘජුවම බලපාන බවත් අනෙක් අතට එම ප්‍රජාවගේ අවශ්‍යතාවයන් වලටත් එය බලපාන බවත් සඳහන් කල අමාත්‍යවරයා ඉදිරියේදී මේ වතු ආශ්‍රිතව සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම මූලික අරමුණක් නිසා මෙම වතු ආශ්රිත මාර්ග සංවර්ධනය කිරීම අත්‍යාවශ්‍යම කාරණයක් බවත් සඳහන් කළේය.

