මත්පැන් නිෂ්පාදනය සඳහා තීරු බදු ගෙවීමට අදාළ සුරා බදු ආඥාපනත යටතේ පනවන ලද නව නීති පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී මෙම තීරණය ගෙන තිබේ.
ඒ අනුව කාරක සභාව විසින් අනුමත කර ඇති නව නීති අනුව දින 30ක් ඇතුළත අදාළ බදු නොගෙවන නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන ක්‍රියාකාරකම් නතර කිරීමටත් දින 90ක් ඇතුළත සියලුම බෙදාහැරීම් සහ විකුණුම් නවතා දැමීමටත් තීරණය කර තිබේ.
මෙහි දී සභා එකඟතාවය අනුව සුරා බදු පනත යටතේ ශක්තිමත් බදු අය කිරීමේ යාන්ත්‍රණයක් නොමැති වීම හේතුවෙන් බදු ගෙවීම පසුබැසීමක් සහ අදාළ ආදායම් අලාභයක් රජයට සිදුවී ඇති බවය. දැනට පවතින සියයට 3ක පොලී දඩ මුදල ප්‍රමාණවත් නොවන බැවින් එය සංශෝධනය කර බදු අයකිරීම් ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැදගත්කම කාරක සභාව අවධාරණය කළේය.
මෙම නව නීති ක්‍රියාත්මක කිරීමෙන් රජය බලාපොරොත්තු වන්නේ බදු අය කිරීමේ විශ්වාසනීයතාවය වැඩි දියුණු කරමින්, සුරා බදු අංශයේ ආදායම වැඩි කිරීම හා නොගෙවූ ගාස්තු අඩු කිරීමක් සිදු කිරීම බව නිල වාර්තා සඳහන් කරයි.

