දේශීය වත්කම් ලෙස ඇස්තමේන්තු කර තිබූ ඇමරිකානු ඩොලර් කෝටි 600ක මුදලක් අතුරුදන් වී ඇති බවත්, එය යම් පිරිසක් විසින් අත්පත් කරගෙන ඇති බවත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අනාවරණය කළේය.
මෙම අදහස් පළ කිරීම සිදු කළේ කොළඹදී අද (20) දින විවෘත කරන ලද අපරාධයකින් උපයාගත් දේ විමර්ශන කොට්ඨාශයේ සමාරම්භක අවස්ථාවට සහභාගී වෙමිනි.
තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ රට විසින් ඇමරිකානු ඩොලර් බිලියන 8ක ව්‍යාපෘති ණය ලබාගෙන තිබුණද, පවතින වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන 2කටත් වඩා අඩු මට්ටමක පවතින බවයි.
අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත ක්‍රියාත්මක කිරීම තුළින් සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීමට හැකි වනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළේ ය.
අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේ ද කීය.
මේක සුවිශේෂී පනතක් හැටියට හඳුනා ගන්න පුළුවන්. මේ හරහා නීතිය කඩිනමින් ක්‍රියාත්මක කරන්න ඉඩ ලැබෙනවා. ඊට අවශ්‍ය සියලුම බලතල ලබා දීලා තියෙනවා. දැන් මේ රටට පුළුවන් අලුත් පනත් නැතත් මේ පනත හරහා සංවිධානාත්මක අපරාධත්, මත්ද්‍රව්‍යත් යම් ප්‍රමාණයකින් මැඩ පවත්වන්න. අයෙක් නීති විරෝධී ආකාරයකින් මුදල් උපයලා ඔහු බොහෝ දේ අත්පත් කරගන්න උත්සාහ කරනවානම් ඒ උත්සාහයන් සියල්ල මේ පනත හරහා ව්‍යාර්ථ කරන්න හැකියාව ලැබෙනවා.
එමෙන්ම මෙම අවස්ථාවට එක්වෙමින් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ මෙපමණ බලයක් ලැබුණු පනතක් මින් පෙර නීති පද්ධතිවල නොතිබූ බවත් මේ වන විට නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස් නිලදාරීන්ට උපරිම බලය ලැබී ඇති බවත්ය.
ඒ අනුව සියලුම පොලිස් නිලධාරීන් මෙම බලය අවභාවිත නොකර මහජනතාවගේ යහපත මෙන්ම රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා ලැබී ඇති මෙම බලය ක්‍රියාත්මක කරන ලෙසත් පොලිස්පතිවරයා සියලු පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක්ද සිදු කළේය.

