අයවැයෙන් සෞඛ්‍ය සේවක දීමනා කප්පාදු කිරීමට එරෙහිව පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයෙන් ජනපතිට ලිපියක්!
පරිපූරක වෛද්‍ය සහ අතුරු වෛද්‍ය සේවා වෘත්තිකයන් මුහුණ දී ඇති ගැටළු විසඳීමට හෝ අවම කිරීමට කටයුතු කරන ලෙස පරිපූරක වෛද්‍ය හා අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.
පසුගිය අයවැය හරහා ඉතිහාසයේ ප්‍රථම වතාවට සෞඛ්‍ය සේවාව මුල්කරගත් සෘජු දීමනා කප්පාදුවක් සිදුවූ බවත්, මෙවර ඉදිරිපත් වී ඇති අයවැය මඟින්ද එම ගැටළු විසඳීම වෙනුවට ඉහළ යන ජීවන වියදම, අධික වැයබර සහ බදු අයබිරීම වැනි කරුණු හමුවේ සෞඛ්‍ය සේවකයන්ට ප්‍රමාණවත් සහනයක් ලබා දී නොමැති බවත් මෙම ලිපිය මඟින් පෙන්වා දී ඇත.
ප්‍රධාන ඉල්ලීම් තුනක්:
අඛණ්ඩව පැය 24 පුරා ක්‍රියාත්මක වන සෞඛ්‍ය සේවාව වෙනුවෙන් පෙනී සිටිමින්, එම සංගම් විසින් පහත සඳහන් ප්‍රධාන ඉල්ලීම් ඉදිරිපත් කර ඇත: 2025 අයවැය මඟින් අහිමි වූ දීමනා නැවත පිහිටුවීම: මූලික වැටුපින් 1/20ක් වූ රති අන්ත හා නිවාඩු දින දීමනා මෙන්ම, මූලික වැටුපින් 1/160ක් වූ අමතර/ඇමතුම/අතිකාල සේවා දීමනා වහාම ස්ථාපිත කිරීම. විශේෂ රාජකාරී දීමනා ඉහළ දැමීම: සෞඛ්‍ය අමාත්‍යාංශය හා මුදල් අමාත්‍යාංශය එක්ව නිර්මාණය කළ තාක්ෂණික වාර්තාව මත පදනම්ව, සෞඛ්‍ය ක්ෂේත්රයේ සුවිශේෂීත්වය මත ගෙවනු ලබන DAT දීමනාවට සමානුපාතිකව විශේෂ රාජකාරී දීමනා ඉහළ නැංවීම. අතුරු දීමනාවක් ලබාදීම: විසමතා ඉවත් කර ජීවන වියදම අනුව වැටුප් ගැලපීම සිදුවන තෙක්, රු. 25,000/-ක අතුරු දීමනාවක් ලබා දීම. සාකච්ඡාමය ප්‍රවේශය හරහා මෙම ගැටළු විසඳීමට තමන් සැමවිටම සූදානම් බව පෙන්වා දී ඇති වෘත්තීය සමිති නායකයන්, එසේ නොමැති වුවහොත් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ග වෙත යොමු වීමටත්, පොදු සමාජය හමුවේ මෙම ගැටළුව ගෙන ගොස් සාමාජිකයන් සඳහා උපරිම සාධාරණය ඉටු කිරීමට කටයුතු කරන බවටද අවධාරණය කර ඇත.
මෙම ලිපිය සඳහා පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේෂ් සහ අතුරු වෛද්‍ය සේවා ඒකාබද්ධ පෙරමුණේ සභාපති උපුල් රෝහණ යන මහත්වරුන් අත්සන් තබා ඇති අතර, අග්‍රාමාත්‍යතුමා, මුදල් හා සෞඛ්‍ය අමාත්‍යාංශ ඇතුළු බලධාරීන් වෙතද එහි පිටපත් යොමු කර ඇත.

