2016: ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය නම් කළ වර්ෂය.  

4,000: වසරකට මෙරටින් වාර්තා වන ලීෂ්මනයිසිස් (වැලි මැස්සාගෙන් බෝවන) රෝගීන් සංඛ්‍යාව.  

සතියක්: වැලි මැස්සා දෂ්ට කිරීමෙන් පසු ලීෂ්මනයිසිස් රෝග ලක්ෂණ මතුවීමට ගතවන කාලය.    

මෙරටින් මුලිනුපුටා දමා ඇති මැලේරියා රෝගය විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන් හරහා යළිත් මෙරට තුළ ව්‍යාප්ත වීමේ දැඩි අවදානමක් පවතින බවත්, වැලි මැස්සා මගින් බෝවන ‘ලීෂ්මනයිසිස්’ (Leishmaniasis) චර්ම රෝගය ආසාදිතයන් වසරකට 4,000ක් පමණ මෙරටින් වාර්තා වන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය අනාවරණය කරයි.  

2016 වසරේදී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් ලෙස සහතික කර තිබුණද, විදේශ රටවල සිට පැමිණෙන රෝගීන් හෝ ආසාදිතයන් මගින් ඇනෝෆිලිස් මදුරුවා හරහා රෝගය තවත් අයෙකුට බෝවීමේ තර්ජනය තවමත් පවතී.

මේ හේතුවෙන් විදේශ සංචාරවල නිරත වී ආපසු මෙරටට පැමිණෙන පුද්ගලයන් නිරන්තර වෛද්‍ය පරීක්ෂාවන්ට යොමු වීම සහ රෝගය වැළැක්වීමේ ප්‍රතිකාර ලබා ගැනීම අත්‍යවශ්‍ය බව මැලේරියා මර්දන ව්‍යාපාරය අවධාරණය කරයි.  

මේ අතර, සම මතුපිට ඇතිවන රෝගී තත්ත්වයක් වන ලීෂ්මනයිසිස් රෝගය සම්බන්ධයෙන්ද සෞඛ්‍ය අංශ විශේෂ අවධානයක් යොමු කර තිබේ.

වැලි මැස්සා නමැති කුඩා කෘමියාගේ දෂ්ටනයෙන් සතියකට පමණ පසු රෝග ලක්ෂණ මතුවන මෙම රෝගය වාර්ෂිකව 4,000කට ආසන්න පිරිසකට වැළඳෙන බව  මැලේරියා මර්දන ව්‍යාපාරය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.

Share.
Leave A Reply