සමගි ජන බලවේගයේ (SJB) ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා මෙසේ ද පැවසීය.

අයවැය පිළිබඳ විවේචනය: ආණ්ඩුවේ තුන්වැනි අයවැය ප්‍රතිපත්තිමය හෝ ආයෝජන සැලැස්මක් නොමැති, මිරිස් කුඩු සහ උම්බලකඩ වැනි භාණ්ඩ කිහිපයක මිල ගණන් මත පදනම් වූ “ලුණු මිරිස් අයවැයක්” බව ඒ මහතා පවසයි.

වත්මන් ආණ්ඩුව බලයට පත්වන විට 0.5%ක්ව පැවති උද්ධමනය මේ වන විට 8.4% ඉක්මවා ඇති බවත්, ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 7,600 දක්වා ඉහළ යාම ඇතුළු ජීවන වියදම පාලනය කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බවත් ඔහු සඳහන් කරයි.

මුළු වියදම වන රුපියල් බිලියන 7,678න් බිලියන 4,850කට වැඩි ප්‍රමාණයක් ණය සහ පොලී ගෙවීමට වැය වන බැවින් සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉතිරි වන්නේ රුපියල් බිලියන 1,100ක් පමණක් බව ඔහු පෙන්වා දෙයි.

විදේශ විනිමය හිඟය, ඇඟලුම් කර්මාන්තයට එල්ල වී ඇති තර්ජන සහ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට වැඩපිළිවෙළක් නොමැති වීම නිසා ආර්ථිකය බිඳවැටීමේ අවදානමක පවතින බව ඔහු අවධාරණය කරයි.

තරුණ විරැකියාව සහ කෘෂිකර්මාන්තය මෙන්න  40% ඉක්මවූ තරුණ විරැකියාවට විසඳුම් නොමැති බවත්, කෘෂිකර්මාන්තයට වෙන් කළ මුදල් රුපියල් බිලියන 6කින් කපා හැර ඇති බවත්, ගොවීන්ට පොහොර සහනාධාර හෝ වී සඳහා සහතික මිලක් ලබා දී නොමැති බවත් ඔහු චෝදනා කරයි.

අධ්‍යාපනය සඳහා දළ දේශීය නිෂ්පාදිතයෙන් වෙන් කළ ප්‍රතිශතය 2.2% සිට 1.9% දක්වා අඩු කර ඇති බවත්, ළමුන් 50ට අඩු පාසල් වසා දැමීමට ගෙන ඇති තීරණය හරහා දරුවන්ගේ අධ්‍යාපන අවස්ථා අහිමි වන බවත් ඒ මහතා පවසයි.

ජනාධිපති ධූරය අහෝසි කරන බව පැවසුවද ජනාධිපති වැය ශීර්ෂය විශාල ලෙස ඉහළ දමා ඇති බවත්, ටෙන්ඩර් පටිපාටියකින් තොරව රුපියල් මිලියන 4,000ක ඩ්‍රෝන යාත්‍රා මිලදී ගෙන ඇති බවත් ඔහු සඳහන් කරයි.

රුපියල් කෝටි 15,000ක රන් භාණ්ඩ උකස් තැබීම හරහා ජනතාව පත්ව සිටින දැඩි ආර්ථික පීඩනය පැහැදිලි වන බව අත්තනායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Share.
Leave A Reply