රුපියල් බිලියන 59 ක් නැවත භාණ්ඩාගාරයට යාමේ දැවැන්ත අවදානමක්!

ජාතික ආපදා සහන සේවා නිලධාරීන්ගෙන් හදිසි වෘත්තීය ක්‍රියාමාර්ගයක්!

නොවැම්බර් 16 සිට සියලු රාජකාරිවලින් ඉවත් වීමට තීරණයක් !

දිවයින පුරා සිටින ආපදා සහන සේවා නිලධාරීන් 475 දෙනෙකු මුහුණ දී ඇති බරපතල වෘත්තීය අනාරක්ෂිත භාවය සහ ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන්, 2026 නොවැම්බර් 16 වන සඳුදා දින සිට සියලුම ආපදා සහන සේවා කටයුතුවලින් ඉවත්වීමේ දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළඹීමට සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තීය සංගමය තීරණය කර තිබේ.  

පසුගිය ‘දිට්වා’ ව්‍යවසනයේදී සමස්ත ආපදාවන් සඳහා රුපියල් බිලියන 150 ක මුදලක් වෙන් කර තිබූ අතර, ඉන් පූර්ණ හා අර්ධ නිවාස හානි සඳහා පමණක් රුපියල් බිලියන 101ක් වෙන් කෙරිණි.

මේ වන විට එම අරමුදල්වලින් වියදම් කර ඇත්තේ රුපියල් බිලියන 42ක් පමණක් වන අතර, වසර අවසන් වීමට තවත් දින 45කට අඩු කාලයක් ඉතිරිව ඇත.

මේ අනුව, සහන ලබාදීම සඳහා තවත් රුපියල් බිලියන 59ක දැවැන්ත මුදලක් ඉතිරිව තිබේ.

කෙසේ වෙතත්, නිවාස සඳහා ආපදා ගෙවීම් සිදුකිරීමේ වත්මන් ප්‍රගතිය වාර්තා වී ඇත්තේ සියයට 4ක් වැනි ඉතා අඩු මට්ටමකිනි.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් ඉතිරි සියයට 96 ක කොටස ක්‍රියාත්මක නොවීම නිසා, මෙම අරමුදල් යළිත් භාණ්ඩාගාරයට බැඳී යාමේ බරපතල අවදානමක් මතුව ඇත.

සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරී සංගමයේ සභාපති උපුල් කුමාර ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත දන්වා සිටින්නේ, නොවැම්බර් 05 වන දින පැවති සාකච්ඡාවේ දී වාචිකව එකඟ වූ කැබිනට් පත්‍රිකා අවලංගු කිරීම, තනතුරු නාමය වෙනස් කිරීම සහ MN5 වැටුප් තලයේ පිහිටුවීම ඇතුළු ඉල්ලීම් ලබාදීමට කිසිදු පියවරක් ගෙන නොමැති බවයි.  

මෙම තත්ත්වය තුළ ආපදාවන්ට ලක්වූවන්ට මේ වසරේ දී කිසිදු මූල්‍ය ආධාරයක් ලබාගැනීමට නොහැකි වීම නිසා ජනතාව දැඩි අසීරුවකට පත්වන අතර, එහි සම්පූර්ණ වගකීම ආණ්ඩුව සහ අදාළ ආයතන විසින් භාරගත යුතු බව උපුල් කුමාර පවසයි.

Share.
Leave A Reply