නීති විරෝධී රැස්වීම විපක්ෂයේ විරෝධය හමුවේ නොවැම්බර් 19 දක්වා කල් යයි;

 සභාවෙන් පසු මන්ත්‍රී සංජීව ධම්මිකට මරණීය තර්ජන! 

​දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ පාලනාධිකාරිය විසින් 2020 අංක 2198/54 දරන ගැසට් පත්‍රයේ නීති රීති මුළුමනින්ම පයින් ගසමින්, මන්ත්‍රීවරුන්ට හිමිවිය යුතු වැඩ කරන දින කාල සීමාව උල්ලංඝනය කරමින් (නොවැම්බර් 05 වන දින රාත්‍රී 10.30 ට ලේඛන ලබා දෙමින්) අද දින (නොවැම්බර් 11) කැඳවා තිබූ නීති විරෝධී මහ සභා රැස්වීමට එරෙහිව පොදු විපක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගේ එකමුතුවෙන් සහ දැඩි විරෝධයෙන් යුතුව අද දින සභාව තුළ ප්‍රබල විරෝධතාවයක් ක්‍රියාත්මක කරන ලදී.

 ​සමගි ජන බලවේගය ඇතුළු පොදු විපක්ෂයේ සියලු දෙනාගේ බලවත් විරෝධය සහ යටි විරෝධය හමුවේ, ප්‍රාදේශීය සභා මන්ත්‍රී සංජීව ධම්මික මහතා විසින් සභාව හමුවේ මතු කරන ලද දැඩි රීති ප්‍රශ්නය (Point of Order) සහ නීතිමය සාක්ෂි ඉදිරියේ පාලනාධිකාරියට සම්පූර්ණයෙන්ම පසුබැසීමට සිදුවිය. ඒ අනුව, අද දින පැවැත්වීමට නියමිතව තිබූ මහ සභා රැස්වීම නීති විරෝධී බවට පිළිගනිමින්, සභාපති නීතිඥ ජනක විකුම්තිලක මහතා විසින් අද දින සභාව නොපවත්වන බව නිල වශයෙන් නිවේදනය කළ අතර, අදාළ දෝෂයන් නිවැරදි කරමින් මහ සභා රැස්වීම නොවැම්බර් මස 19 වන දින දක්වා නිල වශයෙන් කල් තබන ලදී. 

​සභාපතිවරයාගෙන් මරණීය තර්ජන සහ අශිෂ්ට හැසිරීම

​කෙසේ වෙතත්, සභාව කල් තැබීමෙන් පසුව ජනතා යෝජනා සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මන්ත්‍රී සංජීව ධම්මික මහතා පහළ මාලයේ පිහිටි ලේකම් කාර්යාලය වෙත ගිය අවස්ථාවේදී, ඉහළ මාලයේ සිට කඩාපාත් වූ සභාපති නීතිඥ ජනක විකුම්තිලක මහතා “එළියට බහින්න එපා බලාගමු! බූරුවා… බූරුවා…” යනුවෙන් මහත් හඬින් කෑගසමින්, සභා පරිශ්‍රය තුළ අශිෂ්ට අයුරින් යකා නටමින් මරණීය තර්ජන එල්ල කර ඇත.

​මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සජබ මන්ත්‍රී සංජීව ධම්මික මහතා:

​”අද සභාව තුළදී ඔවුන්ගේ නීති විරෝධී වැඩේ අහුවෙලා සභාව කල් තියන්න සිද්ධ වුණාම සභාපතිවරයා අන්ත අසරණ වෙලා, වෛරයෙන් පිපිරී ගියා. මම ලේකම්තුමා හම්බවෙන්න යද්දී ඉහළ මාලයේ ඉඳන් ඇවිත් මට කිසිම හේතුවක් නැතුව ‘එළියට බහින්න එපා බලාගමු, බූරුවා’ කිය කියා තර්ජනය කළා. සභාපතිවරයෙක් නෙවෙයි එතන යකා නැටුවා.

​මම මේ මාධ්‍ය හමුව පවත්වන්නේ මගේ, මගේ බිරිඳගේ සහ මගේ දරුවන්ගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන්. අද ආණ්ඩුව බලයේ ඉන්න නිසා ප්‍රාදේශීය පොලිසියට ගිහින් වැඩක් නැති නිසා, මම මගේ සහ පවුලේ ජීවිත ආරක්ෂාව තහවුරු කරගැනීමට සහ මෙම නීති විරෝධී තර්ජනයට එරෙහිව සහකාර පොලිස් අධිකාරී (ASP) කාර්යාලයට සහ කෙළින්ම පොලිස්පතිවරයා (IGP) හමුවී නිල පැමිණිල්ල යොමු කිරීමට පියවර ගන්නවා.

​ජනතා ප්‍රශ්න කතා කළාට, නීති විරෝධී වැඩ පෙන්වලා දුන්නාට මගේ හෝ මගේ පවුලේ අයට කිසිම අනතුරක් වුණොත් ඒකේ සම්පූර්ණ වගකීම මේ සභාපතිවරයා ඇතුළු පාලනාධිකාරිය බාරගන්න ඕනේ.”

​පාලනාධිකාරියේ හිතුවක්කාරී සහ නීති විරෝධී ක්‍රියාදාමයන්ට එරෙහිව පොදු විපක්ෂය ලෙස අප සියලු දෙනා එක්ව ගෙන ගිය මෙම ප්‍රජාතන්ත්‍රවාදී සටනින් නීතිමය ජයග්‍රහණයක් අත්කර ගත්තද, මහජන නියෝජිතයෙකුට සහ ඔහුගේ පවුලේ අයට එල්ල වන මේ මරණීය තර්ජනවලට එරෙහිව රටේ නීතිය දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව අවධාරණය කර සිටිමු. 

​කේ. එච්. සංජීව ධම්මික

ප්‍රාදේශීය සභා මන්ත්‍රී – දිවුලපිටිය ප්‍රාදේශීය සභාව

Share.
Leave A Reply