අල්ලස, දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් එවකට මහින්ද රාජපක්ෂ රජය සමයේ සිදු කරන ලද ෂැන්ග්-ලා සහ වන් ගෝල්පේස් ගොඩනැගිලි සහිත ඉඩම විකිණීමේ විශාල දූෂණ වංචාවක් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලා අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර තිබේ.

මෙම පැමිණිල්ල ඉදිරිපත් කරමින් පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණි කමන්ත තුෂාර මහතා පෙන්වා දෙන්නේ, ජනාධිපති ලේකම්වරයා විසින් 2010 දෙසැම්බර් 29 දින ඉඩම් ආඥා පනතේ 23(2) වැනි වගන්තිය යටතේ අක්කර 10 යි පර්චස් 11 කට වැඩි මෙම වටිනා ඉඩම් ප්‍රමාණය රුපියල් මිලියන 13,749 ක මුදලකට ෂැන්ග්‍රි-ලා ගෝල්පේස් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය වෙත විකුණා ඇති බවයි.

මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් මතු කර ඇති ප්‍රධාන සැක සහිත කරුණු:ක්‍රියාපටිපාටිය උල්ලංඝනය කිරීම: පුද්ගලික ආයෝජකයෙකුට ඉඩම් විකිණීමේ දී අනුගමනය කළ යුතු ඉඩම් ආඥා පනතේ නීතිමය ක්‍රියාපටිපාටිය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කර ඇත.

දින 3ක් වැනි කෙටි කාලයක් තුළ සියලු කටයුතු අවසන් කිරීම:2010/12/27 දින පිඹුර ඇදීම සිදු කර ඇත. 2010/12/28 දින ඔප්පු ලිවීම සිදු කර ඇත. 2010/12/29 දින ඔප්පුව ලියාපදිංචි කර ඇත. කැබිනට් අනුමැතියක් නොමැති වීම: මෙම ගනුදෙනුව සඳහා නිසි කැබිනට් අනුමැතියක් සොයා ගැනීමට නොහැකි වී තිබේ. විනිවිදභාවයක් නොමැතිකම: ප්‍රසිද්ධ වෙන්දේසියක් හෝ ඉල්ලුම්පත් කැඳවීමකින් තොරව මෙම විකිණීම සිදු කර ඇත.

රජයේ ඉඩම් ආඥා පනත යටතේ ජනාධිපතිවරයාට ඇති බලතල අවභාවිතා කරමින්, හිතැති පිරිසකට මෙම ඉඩම විකුණා ඇති බව පෙනී යන්නා බැවින්, දූෂණ විරෝධී පනත යටතේ මෙය ඉතා දූෂිත ගනුදෙනුවක් බව පුරවැසි බලය සංවිධානය අවධාරණය කරයි. එබැවින්, මෙම ඉඩම නැවත රජයට පවරාගෙන, මෙහි දූෂිත ගනුදෙනුවලට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන ලෙස එම සංවිධානය ඉල්ලා සිටී.

Share.
Leave A Reply