සමගි ජන බලවේගය නියෝජ්ය නීති ලේකම්, නීතිඥ තාරක නානායක්කාර කියයි!
තමන්ට එරෙහිව ගොනු කෙරුණු විශ්වාසභංග යෝජනාව නීතිපතිවරයා වෙත යොමු කිරීමට පාර්ලිමේන්තු ව්යාපාර කටයුතු පිළිබඳ කාරක සභාව ගත් තීරණය පවා උල්ලංඝනය කරමින්, කතානායක වෛද්ය ජගත් වික්රමරත්න විසින්ම එම යෝජනාව ප්රතික්ෂේප කිරීම යනු රටේ ප්රජාතන්ත්රවාදය සහ මහජන ස්වෛරීත්වය අමු අමුවේ කුණුබක්කියට දැමීමක් බව සමගි ජන බලවේගයේ නියෝජ්ය නීති ලේකම්, නීතිඥ තාරක නානායක්කාර පවසයි.
අද (27) පැවැති දෛනික මාධ්ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.
කතානායකට එරෙහි දූෂණ හා විසමාචාර චෝදනා 50ක්!
කතානායකවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගොනු කිරීමට සිදුවූ පසුබිම පැහැදිලි කළ නීතිඥ තාරක නානායක්කාර, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ දූෂණ විරෝධී පනත යටතේ කතානායකවරයාට එරෙහිව විමර්ශනයක් සිදුවන බවත්, එම ආයතනවල ස්වාධීනත්වයට සහ ගෞරවයට හානි නොවන පරිදි කටයුතු කරන ලෙස කළ සාධාරණ ඉල්ලීම් ඉවත දැමීම නිසා මෙම යෝජනාව ගෙන ආ බවත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද සඳහන් කළේය:
“මේ විශ්වාසභංග යෝජනාවේ බරපතල පෞද්ගලික විසමාචාර චෝදනා ඇතුළුව චෝදනා 50ක් තියෙනවා. බලයට එන්න කලින් ‘අපි සුපිරිසිදුයි, සේදුම්කාරක දාලා හෝදලා ගත්ත අය’ කියපු මාලිමාවේ නායකයන්ගේ නිරුවත මෙතැනදී හෙළි වෙනවා.
කතානායකවරයාට පාර්ලිමේන්තු පරිශ්රය ආසන්නයේ විශාල නිල නිවසක් දී තිබියදී, රාජ්ය දේපළ අවභාවිත කරමින් ලෝරිස් පාරේ උසස් රාජ්ය නිලධාරීන්ගේ මහල් නිවාස සංකීර්ණයෙන් 801 නිවසත් ලබාගෙන තියෙනවා.
එතනින් නොනැවතී, පෞද්ගලික ලේකම්ලාට නිල නිවාස දෙන ප්රතිපාදන නැතිව තිබියදී තමන්ගේ පෞද්ගලික ලේකම් චමීර ගාල්ලගේටත් එම සංකීර්ණයෙන්ම අනීතික ලෙස නිල නිවසක් සහ අමතර වෑන් රථයක් ලබා දී තියෙනවා. නිල භෝජනාගාරයේදී වියදම් පියවීම පවා පැහැර හැර තියෙනවා.”
“නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ” නීතියක්!
පාර්ලිමේන්තු ව්යාපාර කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම චෝදනා අධිකරණ ක්රියාදාමයට බාධාවක්දැයි (Sub Judice Rule) නීතිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට නියෝජ්ය කතානායක වෛද්ය රිස්වි සාලිම් මහතාගේ ප්රධානත්වයෙන් තීරණය කර තිබියදී, කතානායකවරයා විසින්ම තමන්ට එරෙහි යෝජනාව විසි කර දැමීම Nemo judex in causa sua (තමන්ගේ නඩුව තමන්ටම ඇසිය නොහැක) යන සර්වකාලීන නීති මූලධර්මය සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් බව නීතිඥවරයා පෙන්වා දුන්නේය.
“අද මහජනතාවට කියන්න වෙලා තියෙන්නේ ‘නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ’ කියලා. කතානායකවරයා මේ කුණුබක්කියට දාන්නේ තමන්ගේ චෝදනා විතරක් නෙමෙයි, මේ රටේ මහජනතාවගේ ස්වෛරීත්වයයි. ආණ්ඩුව නිහඬව මේ කතානායකවරයාව ආරක්ෂා කරන්න යනවා නම්, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කියපු ‘අපිට වඩා හොඳ වෙන්න ඕනේ’ කියන කතාව එතැනින්ම ෆේල් වෙනවා.”
PSTA ‘යක්ෂ පනත’ හරහා ප්රජාතන්ත්රවාදය යකඩ සපත්තුවට!
මීට අමතරව ආණ්ඩුව විසින් ගෙන ඒමට සූදානම් වන ‘රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත’ (PSTA) සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ නීතිඥ තාරක නානායක්කාර මහතා, විපක්ෂයේ සිටියදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ‘මහා යක්ෂ පනතක් / Draconian Law’ එකක් ලෙස හඳුන්වා ඉරා දැමිය යුතු යැයි පැවසූ නීතිවලටත් වඩා දරුණු, ෆැසිස්ට්වාදී ලක්ෂණ සහිත නීති මාලාවක් අද ඔවුන් ගෙනෙන බව පැවසීය.
OIC වරුන්ට අසීමිත බලතල: මහේස්ත්රාත් නියෝගයකින් තොරව, පොලිස් ස්ථානාධිපතිවරයෙකුගේ පෞද්ගලික මතය මත පමණක් ඕනෑම මහජන උද්ඝෝෂණයක්, පාගමනක් හෝ රැලියක් බලය යොදා තහනම් කිරීමට පනතේ 51 වැනි වගන්තියෙන් බලය ලබාදී ඇති බවත්, පැය 24කට පසු ලබාගන්නා මහේස්ත්රාත් අනුමැතියෙන් ජනතා අයිතීන් විනාශ වී අවසන් බවත් පෙන්වා දුන්නේය.
දේශපාලන මත දැරීම ත්රස්තවාදයක් කිරීම: දේශපාලන මතයක් දැරීම පවා ත්රස්තවාදය ලෙස අර්ථකථනය කර, ආරක්ෂක ලේකම්ගේ නියෝග මත මාස 2ක් තිස්සේ 4×4 කාමරවල රඳවා තබා ගැනීමට මෙමගින් ඉඩ සැලසෙන බව අවධාරණය කළේය.
මෙම පනතට එරෙහිව ශ්රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝග කර ඇති නමුත්, පාර්ලිමේන්තුවේ 2/3ක බලයට එරෙහිව මෙය පරාජය කිරීමට නම් සමස්ත මහජනතාවම පෙළගැසිය යුතු බව ඒ මහතා සඳහන් කළේය.
පොලිස් පහරදීම් සහ පක්ෂයේ ස්ථාවරය
පොලිස් රැඳවුම් භාරයේදී මේ වසර තුළ පමණක් පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති බවත්, සැකකරුවෙකු යනු වැරදිකරුවෙකු නොවන පසුබිමක මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් විෂයභාර අමාත්යවරයා සහ ජනාධිපතිවරයා සෘජුවම වගකීම භාරගත යුතු බවත් මෙහිදී ප්රකාශ විය.
‘වගකීම භාරගන්නවා’ යන වචනයට පමණක් සීමා නොවී අදාළ අමාත්යවරුන් ඉල්ලා අස්විය යුතු බවද හෙතෙම කියා සිටියේය.
අවසාන වශයෙන්, සමගි ජන බලවේගය යනු ජාති හා ආගම් පදනම් කරගෙන දේශපාලනය කරන පක්ෂයක් නොවන බවත්, සියලු ජාතීන්ට එක්විය හැකි ‘මුතු කුඩයක්’ බවත් ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්රකාශය පදනම් කරගනිමින් නීතිඥ තාරක නානායක්කාර මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

