ලංකාවේ සිර ගෙවල්වල රැදවියන් 36,925 ක්!

රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීමේ වාර්තාගත වේගයක්!

නිමල් අල්ගෙවත්ත

අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී (අද 22)  අනාවරණය කළ දත්තවලට අනුව වසර ගණනාවක් තිස්සේ පැවැති බන්ධනාගාර තදබදයට ප්‍රධාන හේතුව වූ මත්ද්‍රව්‍ය නඩුවල රස පරීක්ෂක වාර්තා ප්‍රමාදය විසඳීමත් සමඟ, රිමාන්ඩ් රැඳවියන් සංඛ්‍යාව 4,968කින් පහළ බැස තිබේ.  

අධිකරණ අමාත්‍යාංශ දත්තවලට අනුව, පසුගිය ජූලි 01 වැනිදා 41,993ක්ව පැවැති බන්ධනාගාරගත රැඳවියන් සංඛ්‍යාව සැප්තැම්බර් 30 වන විට 36,925 දක්වා සැලකිය යුතු ලෙස අඩුවී ඇත.   මීට පෙර වසරක් හෝ එකහමාරක් ගතවූ රස පරීක්ෂක වාර්තා නිකුත් කිරීම වේගවත් කිරීම සඳහා අලුතින් යන්ත්‍ර සූත්‍ර හඳුන්වා දීමට පියවර ගත් අතර, ඒ අනුව අගෝස්තු සහ සැප්තැම්බර් මාස දෙක තුළ පමණක් වාර්තා 17,506ක් නිකුත් කර ඇත. 

 මීට අමතරව, විෂ වර්ග, අභිං සහ අන්තරායකර ඖෂධ පනත සංශෝධනය කරමින්, රස පරීක්ෂක වාර්තාව මාස 02ක් ඇතුළත ලබාදීම අනිවාර්ය කර තිබේ. එමෙන්ම ශුද්ධ බර ග්‍රෑම් 100ට අඩු නඩුවල ඇප ඉල්ලීම් පළාත් මහාධිකරණ වෙත යොමු කිරීමටත්, අත්අඩංගුවට ගන්නා ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය සාම්පලයක් තබාගෙන ඉතිරිය විනාශ කිරීමටත් අලුතින් ප්‍රතිපාදන සලසා ඇත.

Share.
Leave A Reply