ගුරු අධ්යාපනඥ සේවයේ අභ්යන්තර වැටුප් අර්බුදය උපරිමයට: වෘත්තීය සංගම් ශ්රේෂ්ඨාධිකරණයට
කොළඹ: ශ්රී ලංකා ගුරු අධ්යාපනඥ සේවයේ පවතින උග්ර අභ්යන්තර වැටුප් විෂමතාව හේතුවෙන්, සේවයේ ඉහළම පළපුරුද්ද සහිත ජ්යෙෂ්ඨතම නිලධාරීන්ට වඩා පසුගිය වසරේ අලුතින් බඳවා ගත් නවක නිලධාරීන්ගේ වැටුප රුපියල් 50,000 දක්වා ප්රමාණයකින් ඉහළ යන බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇතැයි ශ්රී ලංකා අධ්යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමය හෙළිදරව් කරයි.
එහි ලේකම් ජ්යෙෂ්ඨ කථිකාචාර්ය එස්.එම්.පී. බණ්ඩාර මහතා පෙන්වා දෙන්නේ ජාතික අධ්යාපන විද්යාපීඨවල පීඨාධිපති සහ උප පීඨාධිපති වැනි ඉහළම තනතුරු හොබවන ජ්යෙෂ්ඨයින්ගේ වැටුප් තල පවා අභිබවා යමින් මෙම අසාධාරණ වැටුප් ලබන්නන් බවට පසුගිය වසරේ එක් වූ නවකයින් පත්ව ඇති බවයි.
අර්බුදයේ මුල: විධායක සේවාවන් පහත හෙළීම
2022 ජනවාරි 01 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි ගුරු සේවය, විදුහල්පති සේවය සහ ගුරු උපදේශක සේවාවල වැටුප් අනුපාත සීග්රයෙන් ඉහළ නැංවීමට පියවර ගැනීමත් සමඟ මෙම අවුල ආරම්භ වී ඇත. ඊට පෙර මධ්යම මට්ටමේ පැවති එම සේවාවන්හි වැටුප්, විධායක මට්ටමේ සේවාවක් වන ගුරු අධ්යාපනඥ සේවයට වඩා ඉහළ යාම හේතුවෙන් සමස්ත රාජ්ය සේවා වැටුප් පරිමාණයේ අසමතුලිතතාවක් ඇති විය.
උද්ගතව ඇති තත්ත්වය හමුවේ විධායක සේවාවක් වන ගුරු අධ්යාපනඥ සේවයේ වැටුප් තලය, ගුරු සේවයේ 2 වන ශ්රේණියේ වැටුප් තලයටත් වඩා පහළ බැස තිබේ. ඉදිරි පුරෝකථනවලට අනුව 2027 ජනවාරි වන විට ගුරු අධ්යාපනඥ සේවයට වඩා ගුරු සේවයේ වැටුප් 16.6% කින්ද, විදුහල්පති සේවයේ වැටුප් 20.8% කින්ද ඉහළ යනු ඇත.
2025 ජූනි මාසයේදී සීමිත පදනමෙන් නවක නිලධාරීන් ගුරු අධ්යාපනඥ සේවයට බඳවා ගැනීමේදී, ගුරු සහ විදුහල්පති සේවාවල ඉහළ වැටුප් ලබමින් සිටි පිරිස් ඊට එකතු විය. ආයතන සංග්රහයේ විධිවිධානවලට අනුව ඔවුන්ගේ වැටුප් ගැලපීමේදී තවත් වැටුප් වර්ධක දෙකක් ඉදිරියෙන් තබා කටයුතු කිරීම නිසා, වසර ගණනාවක සේවා කාලයක් හිමි ජ්යෙෂ්ඨතම නිලධාරීන්ට වඩා අතිවිශාල වැටුපක් නවකයින්ට හිමිවීමේ අසාධාරණය නිර්මාණය වී ඇත.
වත්මන් රජය බලයට පත්වීමට පෙර මෙම වැටුප් අර්බුදය විසඳන බවට පොරොන්දු වුවද, පසුගියදා සිදුකළ රාජ්ය සේවක වැටුප් වැඩිවීමේදී ද මෙම විෂමතාව සමනය කිරීමට පියවර ගෙන නොමැති බව සංගමය පවසයි.
අග්රාමාත්යවරිය සමඟ පැවැත්වූ සාකච්ඡා අසාර්ථක වූ අතර, ජනාධිපතිවරයා වෙත ලිඛිතව කළ දැනුම්දීම්වලට හෝ වැටුප් කොමිසමට ඉදිරිපත් කළ කරුණුවලට මෙතෙක් යහපත් ප්රතිචාරයක් ලැබී නොමැත.
මේ හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කරගැනීම වෙනුවෙන් ශ්රේෂ්ඨාධිකරණය හමුවේ නඩුවක් ගොනු කිරීමට වෘත්තීය සංගමය පියවර ගෙන ඇත. SC/FR/77/2025 දරන මෙම පෙත්සම ලබන සිකුරාදා (2026 ඔක්තෝබර් 30) තීරණාත්මක ලෙස අධිකරණය හමුවේ කැඳවීමට නියමිත අතර, වසර 5ක් පුරා පවතින මෙම අසාධාරණයට ශ්රේෂ්ඨාධිකරණයෙන් සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි සේවා නියුක්තිකයෝ දැඩි විශ්වාසයෙන් පසුවෙති.

