පූජ්ය ගලබොඩ අත්තේ ඥාණසාර හිමියන් නැවත බන්ධනාගාර ගත කිරීමට හේතු වී ඇත්තේ තමන් ජනාධිපති ධූරය දැරූ සමයේ ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ගෙන් සිදු වූ තාක්ෂණික දෝෂයක් සහ නොමග යැවීමක් බව හිටපු විධායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා විශේෂ ප්රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
නිලධාරීන්ගෙන් සිදු වූ බරපතල වරද
ඥාණසාර හිමියන්ට එරෙහිව හෝමාගම මහේස්ත්රාත් අධිකරණයේ පැවැති නඩු දෙකට අදාළව සමාව දීමේදී අධිකරණ හා බන්ධනාගාර අමාත්යාංශයේ අනුමැතිය ලබා ගත යුතු බව ජනාධිපති කාර්යාලයේ නීති අංශය භාර අතිරේක ජ්යෙෂ්ඨ ලේකම්වරිය දැනුම් දී තිබුණ ද, එම ඉල්ලීම අදාළ අමාත්යාංශය වෙත යොමු කර නැත. අමාත්යාංශ අනුමැතිය නොමැතිව තමන්ගේ අත්සන පමණක් ලබාගෙන තමන්ව නොමග යවා ඇති බව හිටපු ජනාධිපතිවරයා පවසයි.
මහා සංඝරත්නයෙන් සමාව ඉල්ලයි
මෙම තාක්ෂණික දෝෂය හේතුවෙන් ඥාණසාර හිමියන්ට නැවත සිරගත වීමට සිදුවීම පිළිබඳව කනගාටුව පළ කරන මෛත්රීපාල සිරිසේන මහතා, සිය නිලධාරීන් අතින් සිදු වූ මෙම වරද වෙනුවෙන් සමස්ත ගෞරවනීය මහා සංඝරත්නයගෙන් සමාව ඉල්ලා සිටියි.
අධිකරණ තීන්දුවට මා ගරු කරන අතර, රටේ මහා සංඝරත්නය සහ මාධ්යවේදීන් කළ විමසීම් හමුවේ සත්ය කරුණු පැහැදිලි කිරීමට මෙම නිවේදනය නිකුත් කළ බව ද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

