ඥානසාර හාමුදුරුවන්ගේ සිවුර බලහත්කාරයෙන් ගැලවූ නිරාගමික මාලිමා ආණ්ඩුව රෙගුලාසි දෙක තුනක් සංශෝධනය කරලා තමන් දැන් නිර්දෝෂීයි කියලා අත හෝදගන්න උත්සාහ කරනවා. අලුත් රෙගුලාසි පිළිබඳ ඥානසාර ස්වාමීන් වහන්සේගේ ස්ථාවරය පිළිබඳ උන්වහන්සේ අපිව දැනුවත් කළා. උන්වහන්සේ කියන්නේ බන්ධනාගාර නිලධාරීන්ට මගේ සිවුර ගලවන්න පුළුවන් වුණත් බලහත්කාරයෙන්, ඔවුන්ට බෑ නැවත මට සිවුර අන්දන්න. මට සිවුරු ඇන්දවීමේ අයිතිය තියෙන්නේ මාව අයත් සංඝ සභාවේ නායක ස්වාමීන් වහන්සේලාට පමණයි.
උන්වහන්සේ සඳහන් කළා මගේ සිවුර ගැලෙව්වේ බලහත්කාරයෙන් නිසා මගේ භික්ෂුත්වය අහිමි වෙලා නෑ. නමුත් මම දැන් සති දෙකකට ආසන්න කාලයක් සිවුරු දරන්නේ නැතුවයි හිටියේ. ඒ නිසා මට ස්වේච්ඡාවෙන් සිවුරු දරන්න හැකියාවක් නෑ. මගේ සංඝ සභාවේ නායක ස්වාමීන් වහන්සේලා මම සිවුර නැතුව හිටියේ ඇයි කියන එකට හේතු විමසලා, ඒ හේතු සාධාරණයි කියලා පිළිඅරගෙන, මට නැවත සිවුරු පෙරවීමට කටයුතු කළොත් පමණයි මට සිවුරු දරා සිටීමේ අයිතිය ලැබෙන්නේ. එහෙම නොවුනොත් මම සිවුරු නැතුව දෙවතාවක් ගිහි වෙස් ගන්වලා මාව ජනතාව ඉදිරියේ ප්රදර්ශනයට ලක් කළා. ඒ නිසා එහෙම නැතුව මම සිවුරු දාගත්තොත් මේක නරක පූර්වාදර්ශයක් බවට පත්වෙලා සමහර භික්ෂූන් වහන්සේලා සිවුර අත්හැරලා කැමති කාලයක් ගිහි වෙස් අරගෙන ඉඳලා ඊට පස්සේ නැවත සිවුරු දාගැනීමේ තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. එතකොට සිවුර ගලවලා ඉන්නවා, ගිහි වෙස් අරන් ඉද්දි ගිහියෝ කරන හැම වැඩේම කරනවා, නැවත වතාවක් සිවුර දරාගැනීමේ සංස්කෘතියක් බිහිවුනොත් ඒක තවත් වටයකින් ශාසනික පරිහානියක් බවට පත්වේවි කියන අනතුරු ඇඟවීම උන්වහන්සේ සිද්ධ කළා. ඒ නිසා උන්වහන්සේට සිවුරු ඇන්දවීම පිළිබඳ මා හිතනවා බන්ධනාගාර නිලධාරීන් උන්වහන්සේ අයත්වන කෝට්ටේ ශ්රී සාමග්රී සංඝ සභාව සමඟ සාකච්ඡා කළ යුතු වෙනවා.
ඒ වගේම ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියේ රැඳී සිටි මහා සංඝරත්නයට එතන රැඳී සිටීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් ලබාගන්න ජනාධිපති අනුර දිසානායක මැතිතුමාගේ පොලිස් නිලධාරීන් කටයුතු කරනවා අපි දැක්කා. ඒක මාලිමාවේ දෙබිඩි පිළිවෙත ප්රදර්ශනය කරපු තවත් අවස්ථාවක්. අපිට මතකයි 2022 අරගලය අවස්ථාවේ ජනාධිපති ලේකම් කාර්යාලය මාලිමාව මාස තුනක් අත්පත් කරගෙන හිටියා. ඒ අරගලයට නායකත්වය දෙන්නේ මාලිමාවයි කියලා රටට කිව්වේ වෙන කවුරුවත් නෙවෙයි වත්මන් ජනාධිපති අනුර දිසානායක මැතිතුමා. එතුමා අපිට මතකයි එදා කියනවා අරගලයට නායකත්වය දෙන්නේ මාලිමාවේ අපි, අපේ තරුණ සංවිධානය, අපේ ශිෂ්ය සංවිධානය, අපේ කලා සංවිධානය තමයි මේ අරගලය කරගෙන යන්නේ කියලා. එහෙමනම් එදා සමස්ත රාජ්ය යාන්ත්රණය අඩපණ කරමින් ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගත්ත මාලිමාවම අද කියනවා භික්ෂූන් වහන්සේලාට ජනාධිපති ලේකම් කාර්යාලයේ කටයුතු වලට කිසිම බාධාවක් නොකර සාමකාමීව ඒ අසල රැඳී සිටින්නත් තහනම් කියලා. මේක දෙබිඩි ප්රතිපත්තියක් නෙවෙයිද? ඒ වගේම ඔන්න ඕකට තමයි කියන්නේ විපක්ෂයේ ඉඳිද්දි මිගෙල්ලා ආණ්ඩුවට ආවම දනියෙල්ලා වෙනවා කියලා.
ඒ වගේම ජනාධිපතිතුමාට ඥානසාර ස්වාමීන් වහන්සේව නිදහස් කිරීම සඳහා මාසෙක කාලයක් අවශ්ය යැයි කියලා ජනාධිපති ලේකම්වරයා විසින් මහා සංඝරත්නය දැනුවත් කළා. අපි ඉතින් දන්නවා ජනාධිපතිතුමා වැඩ කරන්න ගියාම හරිම අකාර්යක්ෂමයි කියලා. අර දිට්ඨවාවලට විනාශ වුණු උඩරට දුම්රිය මාර්ගය මාස දහතුනක් ගිහිල්ලත් තාම අලුත් වැඩියාව සම්පූර්ණ කරගන්න බැරිවෙලා තියෙනවා. හැබැයි ඉතින් හොඳ වැඩක් කරන්න ගියාම ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය උපරිමයට පෙනුනත් අපිට මතකයි නීතිපතිවරයා ලසන්ත වික්රමතුංගගේ ඝාතනය පිළිබඳ සැකපිට අත්අඩංගුවට අරන් හිටි සැකකරුවන් අතරින් කිහිප දෙනෙක්ව ප්රමාණවත් සාක්ෂි නෑ කියන නීතිමය පදනම මත නඩුවෙන් මුදා හැරියම ඒකට විරුද්ධව රාජ්ය නොවන සංවිධාන විරෝධය පළ කරා. මෙන්න බොලේ ජනාධිපතිතුමා අතිශයින්ම කාර්යක්ෂම වෙලා, ක්ෂණිකව ක්රියාත්මක වෙලා, නීතිපතිවරයාගේ නිල රාජකාරියට අනිසි මැදිහත්වීමක් කරලා නැවත ඒ අයට චෝදනා ගොනු කරන්න උපදෙස් දුන්නා. ජනාධිපතිතුමනි, නීති විරෝධී දේවල් කිරීමට ඔබතුමාට තිබෙන ඔය කාර්යක්ෂමතාවය නීත්යානුකූල දේවල් කරන්නත් ළඟා කරගැනීමට හැකි වේවා කියලා අපි ප්රාර්ථනා කරනවා.
ඒ වගේම භික්ෂූන් වහන්සේලා කෙතරම් බලපෑම් කළත් ඥානසාර හාමුදුරුවන්ට නිදහස ලබා දෙන්නේ නෑ කියලා ලාල්කාන්ත ඇමතිතුමා කියනවා. දැන් ඉතින් කවුද ලාල්කාන්ත ඇමතිතුමාගෙන් ඥානසාර හාමුදුරුවෝ නිදහස් කරන්න කියලා ඉල්ලුවේ? කවුරුවත් ඉල්ලුවේ නෑනේ. ඉතින් ජනාධිපතිතුමාගෙන් නිදහස් කරන්න කියලා ඉල්ලුවට ලාල්කාන්ත ඇමතිතුමාගෙන් කවුරුවත් නිදහස ඉල්ලුවේ නෑනේ. ඒ නිසා ජනාධිපතිතුමාගේ රාජකාරිය ජනාධිපතිතුමාට කරගන්න ඉඩ දීලා “වාචාය සංවරෝ සාධු” කියන බුද්ධ වචනය සිහිපත් කරගෙන නිහඬව සිටීම යහපතී කියලා මා මිත්ර ලාල්කාන්ත ඇමතිතුමාට සිහිපත් කරනවා.
ඒ වගේම ජනාධිපති සමාවෙන් තමන්ගේ ජීවිතය බේරගත්ත මිනීමරුවෝ පිරිසක් රටේ බලය අත්පත් කරගෙන ජනාධිපති සමාව අපි නම් පාවිච්චි කරන්නේ නෑ කියන එක වගේ තවත් දෙබිඩි කතාවක් තියෙනවද? මට මතක් වුණේ මේ අවුරුද්දේ සිංහල අලුත් අවුරුදු දවසේ ගංගාරාමයේදී මට හමුවෙච්ච අනුරාධපුරයේ වී මෝල් හිමියෙක් කිව්වා 1989 දී ඒගොල්ලන්ගේ ගෙදරට ඇවිල්ලා ගෙදර තිබ්බ තුවක්කුව පැහැරගෙන ගියේ ලාල්කාන්ත ඇමතිතුමාය, මට හැමදාම රෑට නින්දට යනකොට ඒ සිදුවීම මැවිලා පෙන්න නිසා ලාල්කාන්ත ඇමතිතුමාගේ රුව හොඳටෝම මතකයි කියලා. ඉතින් ජනාධිපති සමාවෙන් ජීවිතය බේරගෙන පක්ෂයක් යළි ගොඩනඟලා ඒ පක්ෂයට බලය ලබාගත්ත උදවියම අපි නම් ජනාධිපති සමාව පාවිච්චි කරන්නේ නෑ වගේ දෙබිඩි කතාවක් කියන්න අයිතියක් නෑ. ඒ විතරක් නෙවෙයි, මේ පැත්තෙන් සෞදි අරාබියේ රජතුමාට ආයාචනා කරනවා ඔබතුමා සතු සමාව දීමේ බලය පාවිච්චි කර අපේ අනෝජන්ට සමාව දෙන්න කියලා. ලංකාවට කියනවා අපි නම් ජනාධිපති සමාව පාවිච්චි කරන්නේ නෑ කියලා. ඕක තමයි කියන්නේ ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියලා. ඉතින් ඒ නිසා ජනාධිපතිතුමනි තවත් දෙබිඩි ප්රතිපත්ති පෙන්නන්නේ නැතුව වහාම ඥානසාර හිමියන්ට සමාව ලබා දෙන්න. ජනාධිපතිතුමනි, දෙබිඩි කතා කියන්නේ නැතුව ඥානසාර ස්වාමීන් වහන්සේට නිදහස ලබා දෙන්න.
ඒ වගේම මීටත් වඩා හොඳ දෙබිඩ්ඩෝ හම්බ වුනොත් අටපට්ටමට තමයි කියන්න වෙන්නේ, මොකද මාලිමාව තරම් දෙබිඩ්ඩෝ නම් මේ ලෝකේ ආයෙත් ඉන්න විදිහක් නෑ. ජනාධිපතිතුමනි මේ රටේ බෞද්ධයන්ගේ, ඔබට එරෙහිව මේ ගොඩනැගෙන කෝපය, වේදනාව ඔබට දැනෙන්න තවත් මොනවද බෞද්ධයා කළ යුත්තේ? මේ නැගිට්ට මදිද? තව මොනවා හරි කරන්න ඕනෙද ඔබතුමාට මේ වේදනාව දැනෙන්න කියලා අපි ජනාධිපතිතුමාගෙන් අහනවා. පඳුරේ තියෙන ගින්න ලැව්ගින්නක් බවට පත්කරගන්න එපාය කියලා අපි ජනාධිපතිතුමාට අනතුරු ඇඟවීමක් කරනවා.

