සිලෝන් ග්‍රීන් ලේබල් සහ කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් බැංකු ගිණුම් ඇතුළු සියලු වත්කම් තහනම් මහ බැංකුවේ බලපත්‍ර නැතිව අනවසරයෙන් තැන්පතු අරන්!
ජනාධිපති කාර්යාලය මැදිහත් වෙයි!
කෘෂිකාර්මික, වැවිලි සහ විවිධ ව්‍යාපෘති පදනම් කරගනිමින් මහජනයාගෙන් අනවසරයෙන් මුදල් තැන්පතු ලබාගත් ආයතන දෙකක බැංකු ගිණුම් ඇතුළු සියලු වත්කම් සහ ගනුදෙනු අත්හිටුවීමට (Freeze කිරීමට) කොළඹ මහාධිකරණය මගින් තහනම් නියෝග නිකුත් කර තිබේ.
මෙසේ අධිකරණ නියෝග ලබාදී ඇත්තේ ‘සිලෝන් ග්‍රීන් ලේබල් ප්ලාන්ටේෂන් (ප්‍රයිවේට්) ලිමිටඩ්’ (නඩු අංක: HC/FS/12/2026) සහ ‘කසාගල ග්‍රීන් ප්ලාන්ටේෂන් (ප්‍රයිවේට්) ලිමිටඩ්’ (නඩු අංක: HC/FS/15/2026) යන ආයතන දෙකට සහ එහි අධ්‍යක්ෂවරුන්ට එරෙහිවයි.
අල්ලස, දූෂණය සහ නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය විසින් ජනාධිපතිතුමන් වෙත ඉදිරිපත් කරන ලද ලිපියකට අනුව, ජනාධිපති කාර්යාලය මගින් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කළ විශේෂ විමසීමකදී මෙම තොරතුරු අනාවරණය වී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ජනාධිපති කාර්යාලය වෙත දැනුම් දී ඇත්තේ, අදාළ ආයතන 1988 අංක 30 දරන බැංකු පනත, 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත, කල්බදු මූල්‍යකරණ පනත හෝ ක්ෂුද්‍ර මූල්‍ය පනත යටතේ මහ බැංකුවේ බලපත්‍ර ලබාගත් හෝ ලියාපදිංචි වූ ආයතන නොවන බවයි.
2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ 2 වන වන වගන්තිය උල්ලංඝනය කරමින්, මහ බැංකු අනුමැතියකින් තොරව නීති විරෝධී ලෙස මහජන තැන්පතු ලබාගැනීම සම්බන්ධයෙන් මහ බැංකුවේ 42(1) වගන්තිය ප්‍රකාරව පරීක්ෂණ ක්‍රියාත්මක වන බවත්, අදාළ සමාගම්වල තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව උදෙසා එම සමාගම්වල සහ අධ්‍යක්ෂවරුන්ගේ වත්කම් බැහැර කිරීම හා පැවරීම තහනම් කරමින් අධිකරණ නියෝග ලබාගෙන ඇති බවත් මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම විමර්ශනවල ඉදිරි ප්‍රගතිය ඉදිරියේදී මහජනතාව වෙත දැනුම් දීමට නියමිත අතර, අධිකරණ නියෝගවලට අනුකූලව ඉදිරි නීතිමය කටයුතු සිදුකරන බව ජනාධිපති අතිරේක ලේකම් (මුදල් හා ආර්ථික කටයුතු) ජී. එම්. ජේ. බණ්ඩාර මහතා තහවුරු කරයි.

