ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, පාර්ලිමේන්තුවේ අභිනව භාෂා පරිවර්තන ඒකකය පසුගිය ඔක්තෝබර් 05 වැනිදා නිල වශයෙන් විවෘත කෙරිණි.
පාර්ලිමේන්තුවේ ලිඛිත භාෂා පරිවර්තන කටයුතු වඩාත් කාර්යක්ෂම හා ගුණාත්මක ලෙස සිදු කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමේ අරමුණින් මෙම ඒකකය ස්ථාපිත කර ඇත.
මෙම නව ඒකකය පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ සුරතින් විවෘත වූ අතර, එහිදී අදහස් දැක්වූ මහලේකම්වරිය සඳහන් කළේ ආයතනයක දියුණුව සඳහා නිවැරදි නායකත්වය මෙන්ම සාමූහික එකමුතුකම අත්‍යවශ්‍ය වන බවයි.
පාර්ලිමේන්තුව සතු වටිනාම සම්පත එහි කාර්ය මණ්ඩලය බව අවධාරණය කළ ඇය, ලේකම් මණ්ඩලය සැමවිටම කාර්ය මණ්ඩලයේ සුභසාධනය හා අභිවෘද්ධිය වෙනුවෙන් පෙනී සිටින බව ද පැවසුවාය.
ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තක සී. ජේ. කරුණාරත්න මහතා ඉදිරිපත් කළ සංකල්පයකට අනුව, මහ ලේකම්වරියගේ සහ සහකාර මහ ලේකම් හංස අබේරත්න මහතාගේ පූර්ණ සහයෝගය ඇතිව මෙම ඒකකය යථාර්ථයක් බවට පත්විය.
විශේෂ අවස්ථා කිහිපයක්:භාෂා පරිවර්තකයින්ගේ තේමා ගීතය සහ ආචාර ධර්ම සංග්‍රහය: මෙහිදී භාෂා පරිවර්තකයින්ගේ තේමා ගීතය (Translators’ Anthem) සහ කථා පරිවර්තකවරුන් සඳහා වන වෘත්තීය ආචාර ධර්ම සංග්‍රහය මහ ලේකම්වරිය සහ සහකාර මහ ලේකම්වරයා වෙත පිළිගැන්විණි.
සහතිකපත් ප්‍රදානය: පාර්ලිමේන්තු සේවයට අලුතින් එක් වූ කථා පරිවර්තකයින් සහ භාෂා පරිවර්තකයින් වෙනුවෙන් පැවැත්වූ පුහුණු වැඩසටහන සාර්ථකව නිම කළ නිලධාරීන් සඳහා සහතිකපත් ප්‍රදානය කෙරිණි.
ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය සැමරීම: මෙම උත්සවයට සමගාමීව 2026 ජාත්‍යන්තර භාෂා පරිවර්තන දිනය ද සැමරිණි. මෙවර එය “භාෂාමය විවිධත්වය සහ භාෂා අයිතිවාසිකම්” (Linguistic Diversity and Language Rights) යන තේමාව සහ “අවබෝධ කර ගැනීමට හැකි වීමේ බලය” (The Power of Being Understood) යන උප තේමාව යටතේ පැවැත්විණි.
මෙම උත්සව අවස්ථාව සඳහා සහකාර මහ ලේකම් හංස අබේරත්න, ව්‍යවස්ථාදායක සේවා අධ්‍යක්ෂ ජයලත් පෙරේරා, හිටපු නියෝජ්‍ය ප්‍රධාන පාර්ලිමේන්තු කථා පරිවර්තකවරුන් වන කේ. එම්. ක්‍රිස්ටෝපර් සහ එන්. සීපාදම් යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පරිවර්තක නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ.

