@@ග්‍රාම නිලධාරී දීමනා වැඩිවීම් ගැන ජනපති කළ ප්‍රකාශය බොරුවක්: දීමනා 30,000ක් කරන්න
ජාතික සංගමය අරලියගහ මන්දිරයේ පැවැති උත්සවයක දී ග්‍රාම නිලධාරී දීමනා වැඩි කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරී ජාතික සංගමය පවසයි. (78 920 9204)
මාධ්‍ය හමුවක් අමතමින් එම සංගමයේ ප්‍රධාන ලේකම් නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේ, ජනපති සඳහන් කළ රු. 5,000 නිල ඇඳුම් දීමනාව රු. 10,000 දක්වාද, කාර්යාල දීමනාව රු. 1,500 සිට 2,000 දක්වාද, ලිපිද්‍රව්‍ය දීමනාව රු. 1,500 සිට 3,000 දක්වාද වැඩිවීම 2016 වසරට අදාළව 2023 ගම්මන්පිල කමිටු නිර්දේශ මත 2024 දී ලැබුණු පැරණි හිඟ හිමිකම් මිස වත්මන් රජයේ අලුත් වැඩිවීමක් නොවන බවයි.
වත්මන් ආර්ථිකයට අනුව ග්‍රාම නිලධාරී දීමනාව රුපියල් 30,000ක් විය යුතු බවත්, කාර්යාල පවත්වාගෙන යාමට රුපියල් 5,000 – 7,000ත් අතර මුදලක් අවශ්‍ය බවත් හෙතෙම කීය.
එමෙන්ම වසරකට රුපියල් 3,000ක් වන ලිපිද්‍රව්‍ය දීමනාව වෙනුවට මසකට රුපියල් 10,000 – 15,000ත් අතර මුදලක් වැයවන බවද පෙන්වා දුන්නේය. නිලධාරීන් 5,257කට වැඩි පිරිසකට දැනට ලැබෙන රුපියල් 600 පෙට්‍රල් දීමනාව වෙනුවට ලීටර් 20ක දීමනාව ලබා දෙන ලෙසත්, නිලධාරීන්ගේ වැරදි දත්ත මත පදනම් නොවී වෘත්තීය සමිති සමග කඩිනම් සාකච්ඡාවක් ලබා දෙන ලෙසත් සංගමය රජයෙන් ඉල්ලා සිටී.
මේ වන විට නිලධාරින් 13 500 ක් වු ග්‍රාම නිළධාරින් සිය මාසික රුපියල් 30 000 පමණ වසමේ කටයුතු සදහා වියදම් කිරිමට සිදුව ඇති බවත් නියමිත දත්ත සංඛ්‍යා පදනම් කරගෙන කරුණු නොදන්න නිලධාරින් කියන කතාවලින් ජනාධිපතිවරයා අදහස් දක්වන්නේ නම් මෙය වැරදි බව ද හෙතෙම කීය.
@@@ජනාධිපතිගේ ප්‍රකාශය පට්ටපල් බොරුවක්: බුද්ධාගමයි ශාසනයයි රැකගන්න එකතු වෙන්න!
සර්වජන බලය මහා සංඝරත්නයෙන් ඉල්ලයි!
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පසුගියදා නායක ස්වාමීන් වහන්සේලා හමුවේ සිදුකරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ ජනතාව මුලා කරන එකක් බවට සර්වජන බලය ව්‍යාපාරයේ මහ ලේකම්, නීතිඥ රංජන් සෙනවිරත්න මහතා චෝදනා කරයි.
රංජන් සෙනවිරත්න මහතා අවධාරණය කළේ, ඉතිහාසයේ සුද්දන්ගේ පාලන සමයේ පවා ආණ්ඩුකාරවරුන් මහා නායක හිමිවරුන් හමුවීමට උන්වහන්සේලා වැඩ සිටි ස්ථානවලට ගිය මිස, උන්වහන්සේලාව කැඳවීමක් සිදු නොකළ බවයි.
ඥානසාර හිමියන් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සෙනවිරත්න මහතා කියා සිටියේ, උන්වහන්සේ වෙනුවෙන් කිසිදු විශේෂ වරප්‍රසාදයක් ඉල්ලා සිටියේ නැති බවයි. සිරගතව සිටින භික්ෂූන් වහන්සේ නමකට වෙනත් නඩුවක් සඳහා අධිකරණය හමුවට පැමිණීමේදී ස්වකීය චීවරය ඇඳගැනීමට ඇති මූලික අයිතිය ආරක්ෂා කර දෙන ලෙස පමණක් ඉල්ලා සිටි බවත්, එය සමස්ත භික්ෂූන් වහන්සේලාගේම අයිතිය පිළිබඳ ප්‍රශ්නයක් මිස පුද්ගලික ප්‍රශ්නයක් නොවන බවත් ඔහු පැහැදිලි කළේය.
තවද, මෙම හමුවෙන් අනතුරුව පැලවත්තෙන් නඩත්තු වන සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් (ඩෝබිලා) ලවා මහ සංඝරත්නයට මඩ ගැසීමේ සහ උන්වහන්සේලාව අපහාසයට ලක්කිරීමේ නීච සැලසුමක් ක්‍රියාත්මක වන බවටද ඔහු වැඩිදුරටත් චෝදනා කළේය.
“මගේ කැමැත්ත රටේ නීතිය නොවිය යුතුයි” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළද, 22 වන සංශෝධනය ගෙන ඒම සහ සුරේෂ් සලේ මහතා දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම වැනි තීරණ හරහා ක්‍රියාත්මක වී ඇත්තේ ජනාධිපතිවරයාගේ ඒකපාර්ශ්වික කැමැත්ත බව පැහැදිලි වන බව සෙනවිරත්න මහතා පෙන්වා දුන්නේය. මෙම රජයේ ඇමතිවරුන් චේ ගුවේරා වැනි විප්ලවවාදීන් සැමරීමට මල් තැබුවද, බුද්ධ ශාසනයට සහ සංස්කෘතියට ඇති පිළිගැනීම විනාශ කිරීම ඔවුන්ගේ යටි අරමුණ වී ඇති බවත්, එබැවින් රටේ බුද්ධාගම, ශාසනය, චීවරය සහ සංස්කෘතිය රැකගැනීම සඳහා පක්ෂ පාට භේදයකින් තොරව සියලුම මහා සංඝරත්නය එකමුතුව නැගී සිටින ලෙසත් සර්වජන බලය මහ ලේකම්වරයා දැඩි ලෙස ඉල්ලා සිටියේය.
@@@ දිනකට ලංකාවේ කසළ ටොන් 8,141 ක්!
ලෝකයේ කසළ මෙට්‍රික් ටොන් කෝටි 386 ක් වසරේ මේ වන විට නිපදවනු ලබන බව දෙස් විදෙස් කසළ සම්බන්ධයෙන් සොයා බලන රාජ්‍ය හා ආයතන,සංවිධාන 25 ක නවතම දත්ත සටහන්වල දැක්වේ.
මේ අනුව ලංකාවේ දිනකට එකතුවන නාගරික කසළ ප්‍රමාණය මෙට්‍රික් ටොන් 8,141 කි. මෙය 2022 වසරේ නිල ඇස්තමේන්තුවක් වන අතර, 2026 වන විට භාවිත කළ හැකි නවතම ජාතික දත්ත අතරට එය ඇතුළත් වේ.
බස්නාහිර පළාතෙන් පමණක් දිනකට ටොන් 3,700කට ආසන්න කසළ ප්‍රමාණයක් ජනනය වන බව ශ්‍රී ලංකාවේ නවතම දේශගුණික විපර්යාසයට එරෙහිව තම රට ඉටු කිරීමට බලාපොරොත්තු වන ඉලක්ක සහ ක්‍රියාමාර්ග ඇතුළත් ජාතික දත්ත (NDC 3.0) වාර්තාව පෙන්වා දෙයි.
2022 දී ලෝකයේ වසරකට කසළ ටොන් බිලියන 2.56ක් නිපදවා ඇති අතර කිසිදු වෙනසක් නොකළ හොත් 2050 දී එය බිලියන 3.86ක් දක්වා ඉහළ යා හැකි බවත් එය සියයට 50 ක පමණ වැඩිවීමක් බව දත්ත සටහන්වල දැක්වේ.
ලෝකයේ කසළ කළමනාකරණයට දැනට වසරකට ඩොලර් බිලියන 250කට වැඩි මුදලක් වැය වේ. 2050 දී එය ඩොලර් බිලියන 426ක් විය හැකිය.
ලෝකයේ දිනපතා ඉවත දමන කසළවලින් සියයට 38ක් ආහාර අපද්‍රව්‍යය වන අතර තවත් සියයට 34ක් ප්ලාස්ටික්, කඩදාසි, ලෝහ සහ වීදුරුය.
ලංකාවේ දිනපතා ටොන් 8,000 කසළ කන්දට කළ හැකි ධනාත්මක මෙහෙවර රැසක් ඇති බවත් පොහොර, විදුලිය, අමුද්‍රව්‍ය සහ රැකියා සම්පාදනයට මේ නිසල කසළ රටක් වශයෙන් ප්‍රයෝජනයට ගත හැකි ආකාරය ආණ්ඩුව අවධාරණය කළ යුතු බව සරසවි විශ්ව විද්‍යාල විද්වත්හු පවසති.
@@@බදු ආදායම අට ගුණයකින් ඉහළට!
ජනතාවගේ අතේ ඉතිරියට මොකද වුණේ? ජනතාව අසරණයි!
බදු නිදහස් සීමාව ලක්ෂ 30 සිට ලක්ෂ 12ට බස්සලා – යළි ලක්ෂ 18ට ඉහළට!
වසර 4 ක දී වැටුප් බද්දෙන් රුපියල් බිලියන 569ක් රජයට! ( රුපියල් ලක්ෂ 5,690,000 )
වසර 2022 සිට 2025 දක්වා වසර හතරකදී උපයන විට ගෙවීමේ බද්දෙන් (PAYE) රජය උපයාගත් ආදායම රුපියල් බිලියන 569.193කි. 2022දී රුපියල් බිලියන 25.546ක් වූ එම ආදායම 2025දී රුපියල් බිලියන 201.120ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අනුව වාර්ෂික බදු ආදායම ආසන්න වශයෙන් අට ගුණයකින් වැඩි වී ඇත.
මෙම සංඛ්‍යා අනාවරණය වූයේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා පාර්ලිමේන්තුවේදී මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාගේ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
බදු ආදායම ඉහළ යද්දී වැටුප් ලබන ජනතාවගේ ජීවන බර කොතරම් ඉහළ ගොස් තිබේද යන්න දැන් අවධානයට ලක්විය යුතු ප්‍රධාන ප්‍රශ්නයකි. ආහාර, නිවාස, විදුලිය, ජලය, ප්‍රවාහනය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය වියදම් සඳහා වැඩි මුදලක් වැය කිරීමට සිදුවන පසුබිමක වැටුපෙන් බදු අඩු වූ පසු අතට ලැබෙන මුදල පවුලේ වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත්ද යන්න සමාජ ආර්ථික වශයෙන් තීරණාත්මකය.
වසරින් වසර වාර්තා වූ බදු ආදායම මෙසේය.
2022 — රු. මිලියන 25,546යි
2023 — රු. මිලියන 144,955යි
2024 — රු. මිලියන 197,572යි
2025 — රු. මිලියන 201,120යි
බදු නිදහස් සීමාවත් වෙනස් වෙයි
2019 දක්වා පැවති වාර්ෂික බදු නිදහස් සීමාව රුපියල් 1,200,000ක් වූ අතර 2020දී එය රුපියල් 3,000,000 දක්වා ඉහළ නංවා තිබිණි. 2022/2023 කාලයේදී එම සීමාව නැවත රුපියල් 1,200,000 දක්වා අඩු කර ඇති අතර 2025දී එය රුපියල් 1,800,000 දක්වා ඉහළ නංවා තිබේ.

