ලෝකයේ ගැහැණු ළමයින් 5 දෙනකුගෙන් එක් අයෙක් ළමා විවාහයට!
ලෝකයේ කාන්තාවන් හා ගැහැණු ළමයින් මිලියන 650ක් පමණ වයස අවුරුදු 18ට පෙර විවාහ වී ඇති බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) පෙන්වා දෙයි. සෑම වසරකම තවත් මිලියන 12කට වැඩි ගැහැණු ළමයින් ළමා වියේදීම විවාහයට ඇතුළත් වන අතර, එය සාමාන්‍යයෙන් සෑම තත්පර 3කටම එක් ගැහැණු ළමයෙකුට සමාන වේ.
ශ්‍රී ලංකාවේ අවසන් ලබාගත හැකි UNICEF දත්ත අනුව වයස අවුරුදු 20–24 අතර කාන්තාවන්ගෙන් 10%ක් වයස 18ට පෙර විවාහ වී හෝ සම්බන්ධතාවයකට ඇතුළත්ව තිබූ බව වාර්තා වේ.
ළමා විවාහය අධ්‍යාපනය අහිමිවීම, ඉක්මන් ගැබ්ගැනීම්, සෞඛ්‍ය අවදානම් සහ ආදායම් අවස්ථා අහිමිවීම හරහා පරම්පරාගත දරිද්‍රතාව තවත් තද කරයි.
UNICEF අවධාරණය කරන්නේ ගැහැණු ළමයින්ගේ අධ්‍යාපනය, ආරක්ෂාව, සෞඛ්‍යය හා අයිතිවාසිකම් සඳහා ආයෝජනය කිරීම ළමා විවාහ අවසන් කිරීමේ ප්‍රධාන මාර්ගයක් බවයි.
2. ආපදා
වසරකට ලෝකයේ කෝටි 10ක් ආපදාවලට ගොදුරු වෙති!
ලෝකයේ වසරකට සාමාන්‍යයෙන් මිලියන 100කට ආසන්න ජනතාවක් ආපදාවලින් බලපෑමට ලක්වන බව ආපදා අවදානම් අවම කිරීම සඳහා එක්සත් ජාතීන්ගේ කාර්යාලය (UNDRR) පෙන්වා දෙයි. 2016–2025 කාලයේදී ආපදා හේතුවෙන් වසරකට සාමාන්‍යයෙන් 37,900 දෙනෙක් මියගොස් ඇති අතර, එම දශකයේ වාර්තා වූ සෘජු ආර්ථික හානි ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 1කට වැඩිය. ආපදාවලින් බලපෑමට ලක්වන ජනගහන අනුපාතය පෙර දශකයට සාපේක්ෂව 100%කින් ඉහළ ගොස් තිබේ.
ශ්‍රී ලංකාවට බලපෑ Ditwah සුළි කුණාටුවෙන් සිදුවූ සෘජු භෞතික හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 4.1ක් බව ලෝක බැංකුව (World Bank) ඇස්තමේන්තු කරයි. එය රටේ GDPයෙන් ආසන්න වශයෙන් 4%කි. ආපදාවෙන් මිලියන 2කට ආසන්න ජනතාවක් සහ පවුල් 500,000ක් බලපෑමට ලක්විය.
UNDRR පෙන්වා දෙන්නේ ආපදා සිදුවූ පසු මුදල් වැය කිරීමට වඩා ආපදාවට පෙර අවදානම අඩු කිරීමට ආයෝජනය කිරීම අත්‍යවශ්‍ය බවයි.
3. අත් සනීපාරක්ෂාව
ලෝකයේ බිලියන 1.7කට නිවසේ අත් සෝදන්න පහසුකම් නැහැ!
ලෝකයේ ජනතාවගෙන් බිලියන 1.7කට නිවසේදී මූලික අත් සනීපාරක්ෂක පහසුකම් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල (UNICEF) පෙන්වා දෙයි. එයින් මිලියන 611කට කිසිදු අත් සේදීමේ පහසුකමක් නොමැත.
නිසි අත් සනීපාරක්ෂාව මඟින් පාචනය 30%කින් සහ උග්‍ර ශ්වසන ආසාදන 17%කින් අඩු කළ හැකි බව WHO සඳහන් කරයි. එබැවින් අත් සේදීම පුද්ගලික පුරුද්දක් පමණක් නොව ජාතික මහජන සෞඛ්‍ය ආයෝජනයක් බවට පත්ව තිබේ.
පාසල්වලද තත්ත්වය බරපතළය. ලෝකයේ පාසල් දරුවන් මිලියන සිය ගණනකට සබන් හා ජලය සහිත මූලික පහසුකම් නොමැත.
ශ්‍රී ලංකාවේද පාසල්, රෝහල්, ආහාර අලෙවිසැල්, පොදු ස්ථාන සහ රාජ්‍ය ආයතනවල ජලය + සබන් + පහසුකම් + නඩත්තුව අනිවාර්ය කිරීම රෝග වැළැක්වීමේ සරලම ආයෝජනයක් වනු ඇත.
WHO සහ UNICEF පෙන්වා දෙන්නේ පිරිසිදු අත් සෞඛ්‍ය සම්පන්න සමාජයක මූලික ආරක්ෂාවක් බවයි.
4. ලෝක ආහාර දිනය
ලෝකයේ මිලියන 645ක් තවමත් කුසගින්නේ!
ලෝකයේ ආහාර අර්බුදය තරමක් පහළ ගියද මිලියන 645ක් ජනතාව තවමත් කුසගින්නෙන් පෙළෙන බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) පෙන්වා දෙයි. 2025දී එය ලෝක ජනගහනයෙන් 7.8%කි. එමෙන්ම බිලියන 2.1ක්, එනම් ලෝක ජනගහනයෙන් 25.8%ක්, මධ්‍යම හෝ දැඩි ආහාර අනාරක්ෂිතභාවයකට මුහුණ දී ඇත.
කුසගින්නෙන් පෙළෙන ජනතාව අතර අප්‍රිකාවේ මිලියන 309ක්, ආසියාවේ මිලියන 292ක් සහ ලතින් ඇමෙරිකා හා කැරිබියානු කලාපයේ මිලියන 32ක් සිටින බව FAO සඳහන් කරයි.
ශ්‍රී ලංකාවේ පවුල්වලින් 39%ක් ප්‍රමාණවත් නොවන ආහාර රටාවකට මුහුණ දෙන බව ලෝක ආහාර වැඩසටහන (WFP) පෙන්වා දෙයි.
මේ අතර ශ්‍රී ලංකාවේ ආහාර මිල 2021–2024 අතර දෙගුණයකට වැඩියෙන් ඉහළ ගොස් ඇති බව ලෝක බැංකුව සඳහන් කරයි.
කුසගින්න අවසන් කිරීමට ආහාර නිෂ්පාදනය පමණක් නොව සාධාරණ මිල, ආදායම්, පෝෂණය සහ සමාජ ආරක්ෂණයද අවශ්‍යය.
5. දරිද්‍රතාව
ශ්‍රී ලංකාවේ දරිද්‍රතාව තවමත් 24.5%යි!
ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වෙමින් තිබුණද ජනතාවගේ ජීවන තත්ත්වය තවමත් අර්බුදකාරීය. ලෝක බැංකුව (World Bank) අනුව 2024දී ශ්‍රී ලංකාවේ දරිද්‍රතා අනුපාතය 24.5%ක් වූ අතර එය 2019 මට්ටම මෙන් දෙගුණයකි.
ලෝක බැංකුව පෙන්වා දෙන්නේ ජනගහනයෙන් තුනෙන් එකකට ආසන්න පිරිසක් දරිද්‍රතාවයේ හෝ නැවත දරිද්‍රතාවයට වැටීමේ අවදානමේ සිටින බවයි. ආහාර මිල ඉහළ යාම, අඩු සැබෑ වැටුප්, රැකියා අස්ථාවරත්වය සහ ආදායම් අහිමිවීම මෙම තත්ත්වය තවත් බරපතළ කරයි.
ශ්‍රී ලංකාවේ නිල දරිද්‍රතා රේඛාවට අදාළ සංඛ්‍යාව සහ ජාත්‍යන්තර දරිද්‍රතා අනුපාතය එකම මිනුමක් නොවන බැවින් ඒවා එකිනෙකට සෘජුව සසඳා බැලීම වැරදිය.
දරිද්‍රතාව යනු මුදල් නොමැතිකම පමණක් නොවේ. ආහාර, නිවාස, අධ්‍යාපනය, සෞඛ්‍යය, රැකියා, ජලය සහ සනීපාරක්ෂාව අහිමි වීමද එහි කොටසකි.
ඒ නිසා ආර්ථික වර්ධනයේ සැබෑ ජයග්‍රහණය මැනිය යුත්තේ රටේ GDPයෙන් පමණක් නොව ජනතාවගේ ජීවන තත්ත්වයෙන් බව විශේෂඥයන්ගේ අවධානයට ලක්ව තිබේ.

