අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට අදාළ යෝජනා සහ ප්‍රතිපත්ති රැසකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි ව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අධ්‍යාපන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක සභාව සමඟ ඔක්තොම්බර් 09 වනදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති විශේෂ සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවසුවාය.

අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මක සහ ව්‍යුහමය වෙනස්කම් රැසක් සිදු කිරීම සඳහා වූ තීරණාත්මක ප්‍රතිපත්ති සහ යෝජනා ගණනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා.

විශේෂයෙන් ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගින් සකස් කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංකල්ප පත්‍රිකාවට, ජාතික අධ්‍යාපන ආයතනය (NIE) මගින් ඉදිරිපත් කළ සංශෝධිත ජාතික විෂයමාලා රාමුව (National Curriculum Framework) සහ 1 සිට 11 ශ්‍රේණි දක්වා වන ශිෂ්‍ය ඇගයීම් රාමුව සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

ඒවගේම උසස් පෙළ සඳහා වන ඇගයීම් රාමුව මේ දිනවල සකස් වෙමින් පවතිනවා. ජාතික අධ්‍යාපන සභාව (Education Council) පිහිටුවීම සඳහා වන වාර්තාවත් අමාත්‍ය මණ්ඩල අනුමත කළා. ඊට අදාළ කෙටුම්පත් සම්පාදනය සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් කමිටුවක් පත් කිරීමට ඉදිරියේදී කටයුතු කරනවා. ඒවගේම අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල්කරණය කිරීමේ ප්‍රතිපත්තිය ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතියෙන් පසුව ජනාධිපතිතුමා වෙත මේ වනවිට යොමු කර තිබෙනවා. ඉදිරියේදී එය අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පාසල් අධ්‍යාපනය තුළ ඩිජිටල් ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් වසර 5ක් සඳහා රුපියල් බිලියන 96ක ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කළා ඒ සඳහාත් ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිවී තිබෙනවා.

රාජ්‍ය සහ රාජ්‍ය නොවන දෙඅංශයේම අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීමේ (Quality Assurance) ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා උප කමිටුවක් ක්‍රියාත්මක කර ඇති අතර උසස් පෙළ අවසන් කරන සිසුන් සඳහා විශ්වවිද්‍යාල, විද්‍යාපීඨ (NCOE) සහ වෘත්තීය අධ්‍යාපන ආයතන වෙනුවෙන් වෙන වෙනම අයදුම් කිරීමේදී මතුවන පරිපාලනමය ගැටලු විසඳීම සඳහා, සියලු උසස් අධ්‍යාපන විකල්පයන් සඳහා එකම ජාලයකින් අයදුම් කළ හැකි ‘ඒකාබද්ධ ඇතුළත් කිරීමේ ප්‍රතිපත්තියක්’ සකස් කරන ලෙස විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඇතුළු අදාළ ආයතනවලට උපදෙස් දී ඇති බවත්, 2028 වසරේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස එම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත බවත් අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉංජිනේරු, වෛද්‍ය (පාඨමාලා සහ පශ්චාත් උපාධි) සහ කෘෂිකර්ම ක්ෂේත්‍රයන් සඳහා වන ප්‍රතිපත්ති සකස් කිරීමට විශේෂ කමිටු පත් කර ඇති බවත්, රාජ්‍ය නොවන උපාධි පිරිනමන ආයතන නියාමනය කිරීම, උපාධි පිරිනැමීමේ තත්ත්වය ලබා දීම සඳහා වූ මාර්ගෝපදේශ පිළිබඳ නව ප්‍රතිපත්තියටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇති බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා මෙහිදී පැවසීය.

සිසුන්ගේ අන්තර්ජාල ආරක්ෂාව සහ ඩිජිටල් සුබසාධනය වෙනුවෙන් වයස් කාණ්ඩ 5ක් යටතේ (1-2, 3-5, 6-7, 8-10 සහ 11-13 ශ්‍රේණි) මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇති බවත්. ඊට අදාළ නියමු ව්‍යාපෘතිය ලබන නොවැම්බර් මාසයේදීත්, පූර්ණ ක්‍රියාත්මක කිරීම ලබන වසරේ මුලදී සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් නිලධාරීන් මෙහිදී අනාවරණය කළේය.

(TVET) වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය, කර්මාන්ත සහ රැකියා වෙළඳපොළේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම, නව්‍යකරණය, AI තාක්ෂණය භාවිතය සහ කර්මාන්තශාලා ආශ්‍රිත පුහුණු අවස්ථා පුළුල් කිරීම සඳහා වූ සිව්වැදෑරුම් මූලෝපායික සැලැස්ම ද මෙහිදී සාකච්ඡාවට ලක් විය. ගුරු පුරප්පාඩු අනුව කඩිනමින් ඉදිරියේදී ගුරුවරුන් බඳවා ගැනිම, ගුරු ස්ථානමාරු සිදු කිරීම ක්‍රමවත් කිරීම. පාසල් දරුවන්ගේ සනීපාරක්ෂාව තහවුරු කිරීම කඩිනම් කිරීම, පාසල් දරුවන්ගේ නිරෝගී සෞඛ්‍ය වෙනුවෙන් ක්‍රීඩා හා ප්‍රායෝගික ක්‍රියාකාරකම් සංවර්ධනය කිරීම, පාසල් දරුවන්ගේ පෝෂණය හා සෞඛ්‍ය ඉහළ නැංවීම ඇතුළු අධ්‍යාපන ක්‍රෂේත්‍රයට අදාල කරුණු ගණනාවක් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරිණ.

මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ස්වේච්ඡා උපදේශක සභාවේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Share.
Leave A Reply