මහරගම අපේක්ෂා රෝහලේ රෝගී ප්‍රතිකාර සඳහා භාවිතා කරමින් තිබූ සීටි සිමියුලේටර් යන්ත්‍රය පසුගිය අප්‍රේල් මස 29 වනදායින් පසුව ගලවා ඉවත් කරන ලද්දේ නව සීටී සිමියුලේටර් යන්ත්‍රයක් ඒ වෙනුවට ප්‍රතිස්ථාපනය කිරීම සඳහාය.
මාස 4ට වඩා ප්‍රමාදයකින් පසුව පැරණි සිටි සිමියුලේටර් යන්ත්‍රය වෙනුවට නව සීටී සිමියුලේටර් යන්ත්‍රයක් ස්ථාපනය කර රෝගී ප්‍රතිකාර ක්‍රියාවලිය සඳහා 07.09.2026 දින විට රෝහල් කාර්ය මණ්ඩලයට බාර දුන්නත් අදාළ නව සීටී සිමියුලේටර් යන්ත්‍රයේ මෘදුකාංග විකිරණ ප්‍රතිකාර සැලසුම් (Tretment Planning Syastem) කිරීමේ මෘදුකාංගය සමග නොගැළපීම නිසා ඇති වූ තාක්ෂණික දෝෂයක් මත නව සීටී සිමියුලේටර් යන්ත්‍රයෙන් සිදුකරන සීටි සිමියුලේශන් පරීක්ෂණ මගින් සිදු කරන විකිරණ ප්‍රතිකාර සැලසුම් සිදු කිරීමට (Planning) නොහැකි වී ඇත. විකිරණ ප්‍රතිකාරයක් සිදුකිරීමට ප්‍රථමව සීටී සිමියුලේශන් පරීක්ෂනය සහ විකිරණ ප්‍රතිකාර සැලසුම් කිරීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිව විකිරණ ප්‍රතිකාරයක් සිදු කිරීමට නොහැකිය.
මේ වන විට ඊට තාවකාලික විසඳුමක් ලෙස පෙට් ස්කෑන් (PET Scanner) යන්ත්‍රයෙන් සීටි සිමියුලේශන් පරීක්ෂණ සිදු කලත් එම යන්ත්‍රයට සිමියුලේටර් යන්ත්‍රයක් මෙන් අදාල පරීක්‍ෂණයට අවශ්‍ය අමතර උපාංග යොදා ගැනීමට නොහැකි වීමෙන් සියලුම රෝගීන්ට එම පරීක්ෂණ සිදුකිරීමට නොහැකි වීම මත එය සාර්ථක පිළියමක් නොවීය. එසේම සාමාන්‍ය සීටී සිමියුලේටර් යන්ත්‍රයක ධාරිතාවෙන් අදාළ පරීක්ෂණ සිදු කිරීමේ හැකියාවද පෙට් ස්කෑන් යන්ත්‍රය සතුව නොමැති වීම තවත් බාධාවක් වී ඇත.
විශේෂයෙන් පියයුරු පිළිකා රෝගීන්ට සීටී සිමියුලේශන් පරීක්ෂණ පෙට් යන්ත්‍රයෙන් සිදුකළ නොහැකිවී ඇත. ඊට හේතු වන්නේ පෙට් යන්ත්‍රය එවැනි ක්‍රියාවලින් සඳහා නිමවා නොමැති වීමයි.
මේ වන විට සීටී සිමියුලේෂන් පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා 1500 පමණ රෝගීන් ප්‍රමාණයක් පොරොත්තු ලේඛනය තුල රැඳී සිටි.
සීටී සිමියුලේශන් පරීක්ෂණය නොමැතිව ඔවුන්ට විකිරණ ප්‍රතිකාර ආරම්භ කිරීමට නොහැකි වීම මගින් ඔවුන්ගේ පිළිකා රෝගය තවදුරටත් උත්සන්න තත්ත්වයට පත්වීමට ඉඩ ඇත.
මෙවැනි විකිරණ ප්‍රතිකාරයක් පෞද්ගලික අංශයෙන් සිදු කර ගැනීම සඳහා රුපියල් ලක්ෂ පහේ සිට ලක්ෂ 20 දක්වා මුදලක් වැයකිරීමට රෝගීන්ට සිදුවේ.
මේ හේතුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ දැනට ක්‍රියාකාරී තත්ත්වයේ පවතින ලීනියර් ඇක්සලරේටර් විකිරණ ප්‍රතිකාර යන්ත්‍ර හතරක් මගින් පසුගිය අප්‍රේල් මාසය වන විට දෛනිකව රෝගීන් 300 ක් පමන ප්‍රතිකාර කළත් මේ වන විට එම සංඛ්‍යාව 200 ක් දක්වා පහල වැටී ඇත.
මෙවැනි විකිරණ ප්‍රතිකාර යන්ත්‍රයක් රුපියල් කෝටි 60-80 අතර මුදලක් වන අතර නියමිත වගකීම් කාලය අතරතුර උපරිම ලෙස කාර්යක්ෂමව භාවිතා කළ යුතු වන්නේ එම කාලය තුළ යන්ත්‍ර නඩත්තුවට රජයට අමතර වියදමක් වැය නොකරමින් උපරිම ප්‍රතිලාභ ලබාගත හැකි බැවිනි. නමුත් මෙසේ දෛනිකව ප්‍රතිකාර කරන රෝගී සංඛ්‍යාව පහළ වැටීම මගින් රජයට සිදුවන පාඩුව අතිවිශාල වේ.
මෙසේ දෛනිකව අපේක්‍ෂා රෝහලේ ප්‍රතිකාර කරන රෝගීන් සංඛ්‍යාව තුනෙන් එකකින් පමණ අඩු වුවත් පිළිකා රෝගීන් විශාල සංඛ්‍යාවක් විකිරණ ප්‍රතිකාර වෙනුවෙන් දිවයින පුරා පොරොත්තු ලේඛනයේ රැඳී සිටි.
එමෙන්ම අපේක්‍ෂා රෝහලේ පවතින මෙම දිගු පොරොත්තු ලේඛණය සහ ප්‍රතිකාර ප්‍රමාද වීම හේතුවෙන් පුද්ගලික රෝහල්වලින් මුදල් ගෙවා විකිරණ ප්‍රතිකාර ලබා ගැනීම සඳහා ද පොරොත්තු ලේඛනයක් නිර්මාණය වීමේ තත්ත්වයක් උද්ගත වී ඇත. එම තත්ත්වය පුද්ගලික රෝහල්වල ලාභය ඉහළ නංවා ගැනීම සඳහා මේ වන විට උපකාර වී ඇත.
සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් මේ පිළිබඳව නිසි කඩිනම් අවධානය යොමු නොකිරීම මත මෙම ගැටළුව විසඳීම තවදුරටත් ප්‍රමාද වන බව පෙනී යයි.
චානක ධර්මයවික්‍රම
සභාපති
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය

