-අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-
ගුරු වෘත්තියේ ගෞරවය හා සුබසාධනය නංවාලීම වෙනුවෙන් රජය කැපවී සිටින බවත්, නව උපාධිධාරීන් 23,000ක් ගුරු සේවයට එක් කරමින් ගුරු වෘත්තිය ශක්තිමත් කිරීමටත්, යෝජිත අධ්‍යාපන සභාවක් පිහිටුවීම හරහා ගුරු වෘත්තියේ ගැටලුවලට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
ලෝක ගුරු දිනයට සමගාමීව 2026.10.06 වැනි දින කොළඹ ආනන්ද විද්‍යාලයේදී පැවති “ගුරු ප්‍රතිභා ප්‍රභා – 2026” ජාතික ගුරු හා විදුහල්පති ප්රණාම උළෙලට එක්වෙමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව ප්‍රකාශ කර සිටියාය.
මෙරට අධ්‍යාපන ක්ෂේත්රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම උදෙසා සුවිශේෂී දායකත්වයක් ලබා දුන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් ජාතික මට්ටමින් ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු විය.දිවයිනේ සියලුම අධ්‍යාපන කලාප ආවරණය වන පරිදි ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ මෙවර සම්මාන පිරිනැමිණි. ඒ අනුව, ‘වසරේ හොඳම විදුහල්පතිවරයා’ ලෙස තේරී පත් වූ විදුහල්පතිවරුන් 71 දෙනෙකු සහ ‘ වසරේ හොඳම ගුරුවරයා ‘ ලෙස තේරී පත් වූ ගුරුවරුන් 62 දෙනෙකු මෙහිදී සම්මානයට පාත්‍ර වූහ.
‘විශිෂ්ට ව්‍යවහාර සම්මාන’ අංශයේ පළමු අදියර යටතේ ජයග්‍රහණය කළ පාසල් සඳහා සම්මාන පිරිනැමීම අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පවසා සිටියාය.
අධ්‍යාපනයේ මූලික අරමුණ විය යුත්තේ අප ජීවත් වන සමාජයට සහ පරිසරයට ආදරය කරන යහපත් මනුෂ්‍යයන් බිහි කිරීමයි. පන්ති කාමරය තුළ යහපත් වාතාවරණයක් ඇති කිරීම මෙන්ම, දරුවෙකු සුවපත් කිරීමට හෝ මානසිකව බිඳ දැමීමට ගුරුවරයාගේ එක වචනයකට විශාල බලයක් තිබෙනවා. සියලු සම්බන්ධතා මූල්‍යකරණය වන, සමාජ මාධ්‍ය හරහා සියලු බැඳීම් ගනුදෙනු බවට පත්වන සමාජයක, ඊට එහා ගිය ආචාර ධර්මීය සහ මානුෂීය වටිනාකම් දරුවන්ට ලබාදීම අද වන විට ගුරුවරයා සතු විශාලතම වගකීමක් බවට පත්වෙලා තිබෙනවා.
කුමන අපහසුතාවයන් මධ්‍යයේ වුවද, ගුරුවරුන්ගේ වෘත්තීය ගෞරවය රැකීමට සහ ඔවුන්ගේ වැටුප් වැඩි කිරීමට අපි කටයුතු කරනවා. නව උපාධිධාරීන් 23,000කට වැඩි පිරිසක් ගුරු සේවයට බඳවා ගැනීමට කටයුතු කරන අතරම, යෝජිත අධ්‍යාපන සභාවක් පිහිටුවීම හරහා ගුරුවරුන්ගේ වෘත්තීය ගැටලුවලට විසඳුම් ලබා දීමට ද සැලසුම් සම්පාදනය කරනවා . කුළුණු පහක් මත ගොඩනැගුණු , 2026 වසරේ පළමු ශ්‍රේණියෙන් ඇරඹි නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය, ගුරුවරුන්ගේ අදහස් හා යෝජනාවලට ඇහුම්කන් දෙමින් ඉදිරියට ගෙන යන නව වැඩපිළිවෙළක්.
අප ගන්නා මෙම සෑම පියවරකම සහ උත්සාහයකම අරමුණ වන්නේ, අපේ පාසල්වල සේවය කරන ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුළු සියලු දෙනාගේ ගෞරවය හා සුබසාධනය රැක ගනිමින්, අපේ දරුවන්ට අවශ්‍ය අධ්‍යාපනික මඟපෙන්වීම කළ හැකි වෘත්තිකයන් පිරිසක් බිහි කිරීමයි.
අද සම්මාන ලබන සියලු දෙනාට සුබ පතන අතරම, දරුවන් යහපත් හා සක්‍රීය පුරවැසියන් බවට පත් කිරීමට ඔබ ගන්නා උත්සාහයේදී රජයක් ලෙස අපි නිරන්තරයෙන් ඔබ පසුපස සිටිනවා.
මෙහිදී අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේ, ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් විදුහල්පතිවරුන්ගේ සහ ගුරුවරුන්ගේ වෘත්තීය තෘප්තිය ඉහළ නැංවීමට නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. එමෙන් ම අධ්‍යාපන සභාවක් පිහිටුවීම හරහා අඛණ්ඩ වෘත්තීය සංවර්ධනයක් ඇති කරමින්, දක්ෂ ගුරුවරුන්ට බාධාවකින් තොරව ඉදිරියට යාමට අධ්‍යාපන පද්ධතිය තුළින්ම අවස්ථාව සලසා දෙන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහ අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස්තුමිය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුළු පළාත් සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් පිරිසක් ද සහභාගී වූහ.

