නඩු කල් යාමට තිත තබන විප්ලවීය මාර්ගස්ථ (Online) නීති සංශෝධනය ක්‍රියාත්මකයි!
– තමන් ඉන්න තැන සිටම සාක්ෂි දීමට අවස්ථාව; නීතිඥයන්ට සහ මහජනතාවට දැවැන්ත සහනයක්
අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය වේගවත් කිරීම සඳහා අපරාධ නඩුවිධාන සංග්‍රහයට අලුතින් හඳුන්වා දුන් ‘මාර්ගස්ථ ක්‍රමයට (Online) සාක්ෂි දීමේ’ විශේෂ සංශෝධනය ඉදිරියේදී සිවිල් නඩුවිධාන සංග්‍රහයටද ඇතුළත් කිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර පවසයි.
ඩිජිටල්කරණය යටතේ e-filing ක්‍රමය ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය සහ කොළඹ සුළු හිමිකම් අධිකරණයේ ආරම්භ කර ඇති අතර, සාක්ෂි සටහන් කිරීම වේගවත් කරන Voice to Text තාක්ෂණය අධිකරණ 350කට ලබාදීමට කටයුතු යොදා ඇති බවත් ඔහු කීය.
මේ අනුව ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය තුළ ගොඩගැසී ඇති ලක්ෂ 11කට අධික නඩු ප්‍රමාණය කඩිනමින් විභාග කිරීමට ඉදරියේ දි පියවර ගන්නා ඔහු සඳහන් කළේ ය.
ලෝකයේ ජනගහනය මිලියනයකට විනිසුරුවරුන් ගත් කළ රුසියාවේ 242ක්, තායිලන්තයේ 68ක්, එංගලන්තයේ 51ක් හා ඕස්ට්‍රේලියාවේ 44ක් සිටියත්, ශ්‍රී ලංකාවේ සිටින්නේ 19-20 වැනි අඩු ප්‍රමාණයක් බවද ඔහු කීය.
මෙයට පිළියම් ලෙස පසුගිය වසර 2ට නව අධිකරණ ශාලා 29ක් එක් කර ඇති බවත් ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ ශාලා 4 සිට 7 දක්වාත්, අපරාධ මහාධිකරණ 3කින් වැඩි කර 11 දක්වාත්, වාණිජ මහාධිකරණ 2කින් වැඩි කර 5 දක්වාත්, සිවිල් අභියාචනා මහාධිකරණ 1 සිට 2 දක්වාත් ඉහළ නංවා ස්ථීර ත්‍රිපුද්ගල මහාධිකරණ 2ක් පිහිටුවා තිබෙන බවද හෙතෙම සඳහන් කළේ ය.
අල්ලස් නඩු සඳහා මහාධිකරණ ශාලා 3ක් (අංක 6, 10, 11) වෙන් කර ඇති අතර, මහාධිකරණ විනිසුරුවරුන් 110 සිට 120 දක්වාත්, අභියාචනාධිකරණ විනිසුරුවරුන් 19 සිට 24 දක්වාත් වැඩි කරන බවද ඔහු කියා සිටියේ ය.
පළපුරුදු විනිසුරුවරුන්ගේ සේවය රඳවා ගැනීමට විශ්‍රාම යෑමේ වයස වසර 2කින් දීර්ඝ කර ඇති බවත් රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ පැවති පුරප්පාඩු 218න් 70ක් ආසන්නව පුරවා ඇති අතර, පසුගිය මාසයේ පමණක් රස පරීක්ෂක වාර්තා 9,081ක් නිකුත් කර ඇති බවත් ඔහු සඳහන් කර සිටියේ ය.
අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාවට කාර්ය සහායකයින් 1,000ක් හා අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා 1,700කට ආසන්න පිරිසක් බඳවා ගැනීමට නියමිත බවද ඔහු සඳහන් කර සිටියේ ය.
දිවයිනේ අධිකරණ ශාලා 1,007 දත්ත අනුව, මීගමුව, කළුතර, මහනුවර (අංක 2) සහ කුරුණෑගල වැනි නඩු 1,000ට වැඩි තදබදයක් ඇති ප්‍රදේශවල නව අධිකරණ ස්ථාපිත කිරීමටද සැලසුම් කර ඇති බව ද ඔහු කීය.

