මොනරයාය ගමේ රටේ අප්පුහාමිලාට නැටි වලිග ඇවිත් මාර හුටප්පරයක්!
පොල්දූව හන්දියේ වංගුවේ ගෙදර කොත්තු කඩේසිට ලියන සති අන්ත රසකතාව
ගැමි සමාජයේ නැට්ට, වැලිගය නැත්නම් වල්ගය කියන්නේ නිකම්ම නිකම් අංගයක් නෙමෙයි. ඒක පිටිපස්සේ අමුතුම කතාන්දර, ප්‍රස්ථාව පිරුළු, වගේම ගැඹුරු සමාජ විවේචනත් හැංගිලා තියෙනවා. “බට්ටේ රස නැට්ටේ” කියලා අපේ ගැමියෝ කතාවට කියන්නේ නිකම්ම නෙමෙයි.
පැරණි ජනකතාවල හැටියට, ගෙදර ආපු ගොවියෙක් මග දිගට කඩාගෙන ආපු බටු ටික බිරිඳට දීලා උයාගන්න කිව්වම, ඒ කපටි ගැමි ලිය අහලා තියෙන්නේ “කෝ මේකේ නැටි ටික, බට්ටේ රස තියෙන්නේ නැට්ටේ!” කියලයි. ඒක අහපු ගොවියා නැටි ටික අහුලන් එන්න පාර දිගේ දුවද්දී, ගෙදර දොර මුල්ලේ හැංගිලා හිටපු හොර සැමියා ලිස්සලා මාරු වුණා ය කියන්නේ. අන්තිමට ගොවියා නැටි ටිකත් එක්ක තම්බපු බටු මාලුව රස කර කර කෑවේ තමන්ගේ නැට්ට නෙමෙයි, අනුන්ගේ නැට්ට අහුලන්න ගිහින් වෙච්ච දේ නොදැනමයි.
ඔය වගේම කියමනක් තියෙනවා, “වලිගය ඇති ගොනා මැස්සන්ට බැට දුනී – වලිගය නැති ගොනා දුප්පත් වුණී” කියලා. ඒත් මෙන්න මේ සතියේ රන මොනර යාය ගමේ සිද්ධ වෙච්ච දේ ඇහුවොත් නම් ඔබටත් හිනාව නවත්තගන්න බැරි වෙයි.
පසුගිය සතියේ රන මොනරයාය ගමේ මෙන්ම රටේම වාසය කරන ප්‍රභූ ගම රටේ අප්පුහාමිලාට අමුතුම ජරමාරයකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒ කියන්නේ, මේ හැම අප්පුහාමි කෙනෙකුගේම පස්ස පැත්තෙන් නැටි වලිග මෝදු වෙන්න පටන් අරන්! මාර හුටප්පරයක් තමයි මේක මෙන්න කතාව ඉතිං මගේ රංතරං යාලුවනේ.
හැබැයි මෙතැන තියෙන ලොකුම පුදුමය කියන්නේ, තමන්ට වලිගයක් ඇවිත් තියෙන බව තමන්ට පෙනෙන්නේ නැහැ. ඒ වලිගය පෙනෙන්නේ වටපිටාවේ ඉන්න අනෙක් අප්පුහාමිලාට විතරයි.
තමන්ගේ පස්ස පැත්තේ තියෙන ‘පැරණි දූෂණ හා වැරදි’ නැමැති වලිගය පාගාගෙන ඉන්න බව දැන දැනත්, මේ අප්පුහාමිලා හැසිරෙන්නේ සිංහයෝ වගේ.
අප්පුහාමිලා අනුන්ගේ වැලිගයේ තියෙන මැක්කෝ හොයන්න කලින්, තමන්ගේ නැට්ටේ ගෑවිලා තියෙන දේවල් සුද්ධ කරගත්තොත් හොඳයි!” කියලා ගමේ අමුඩ ගසාගත්ත සාමාන්‍ය ගොවියෝ කඩමණ්ඩියේදී කතා වෙන්න පටන් ගත්තා. තමන්ගේ නැට්ට ගිනි අරන් තියෙද්දී, අනුන්ගේ කුස්සියේ ලිප නිවන්න යන අප්පුහාමිලාට ගම්මු කිව්වේ “මෝඩයෝ” කියලයි.
ඉතිං මගේ රංතරං යාළුවනේ කොයි හැටි වෙතත්,
අප්පුහාමිලාට වලිග ඇවිත් තියෙන හැටි දැකලා මහමූකලානේ කැලෑ අප්පුලාටත් මාර සතුටක් හිතිලා. උඩවැඩියා මල් අස්සෙන් නරි වලිග මල් පිපිලා අප්පුහාමිලා දෙස බලමින් හිනාවෙන්න පටන් ගත්තා.
මහමූකලානේ හිටපු වඳුරු අප්පුලා එකපාරටම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කිව්වේ, ඉතිහාසයේ ප්‍රථම වතාවට වඳුරන් වන අපි, මහ වනයේ, සැමට සෙවන – වඳුරු නිවාස හදනවා! කියලයි.
“ඇයි එකපාරටම ගෙවල් හදන්න හිතුණේ?” කියලා මාධ්‍යවේදීන් අහද්දී වඳුරු අප්පුලා දුන්නේ අපූරු උත්තරයක්.
“හැට පැන්නත් දියවන්නාවේ මැති ඇමතිවරු අප්පුලා තනතුරු අතාරින්නේ නැතුව බිම ඇවිදින්න හදනකොට උන්ට වලිග එනවා. හැබැයි අපි වල්ගයේ සමබරතාවය තියාගෙන ගස් උඩ ජීවත් වෙනවා. අප්පුහාමිලාට හිතුමනාපෙට වලිග ආවට උන්ට සමබරතාවයක් නෑ. ඒකයි උන් අද අමුඩය පවා උකස් තියන තත්ත්වයට වැටිලා තියෙන්නේ!” රට ණය ලන්තයක් බවට පත් කර තියේනේ.
මේ අතර බේරේ වැව අසල හිටපු කැංගරු අප්පුත් නෙළුම් කුළුනට උඩින් පිම්මක් පැනලා කිව්වේ, “අපිට නම් වලිගය ඕනේ සමබරතාවයට. ඒත් අප්පුහාමිලාගේ වලිග නිසා මුළු රටම හිඟාකන තත්ත්වයට පත් වෙලා” කියලයි.
අහසේ ඉගිලෙන කපුටා සහ මයිනා කුරුළු අප්පුලා නැවතත් මයියා සුළඟ හමන බව කියමින් රට පුරා පියාඹන්න පටන් ගත්තා.
උන් කිව්වේ “කුරුල්ලන්ට වලිගය ඕනේ ඉගිලෙද්දී බැලන්ස් එක තියාගන්න. ගුවන් යානා හදද්දිත් වලිග කොටස එකතු කළේ ඒකයි. හැබැයි මිග් යානා ගනුදෙනු මතක් වෙනකොට නම් අපිට මීක් කියවෙන්නේ නෑ!” කියලයි.
එතකොටම මහමූකලානේ හිටපු මොණර අප්පුලා තමන්ගේ දිග පිල් කළඹ විහිදුවලා මනරම් රැඟුමක් පෑවා. උන් කිව්වේ, “අපි පිල් කළඹ විහිදුවන්නේ පෙම්වතිය ආකර්ෂණය කරගන්න. හැබැයි අපේ රටේ වල්ග තියෙන නායකයෝ කරන්නේ ‘ණය දෙන්න… ණය දෙන්න…’ කිය කියා ලොව වටේ යන එක!” විතරයි කියලා ලඟ හිටිය මොනර කිරිල්ලිට කියන කොට ඒ්ක ඇසුණු මොනර පැටික්කියෝ සිනා සෙන්නට විය.
ඉතිං ඉතිං කුරුල්ලෝ මෙහෙම කියද්දී සාගරයේ හිටපු වල්ග ඇති මාළු අප්පුලා වතුරේ කිමිදෙමින් කිව්වේ, “අපේ වල්ගය දෙපැත්තට වනලා තමයි අපි ඉදිරියට යන්නේ. හැබැයි මේ තරම් විශාල මුහුදක් තියෙන රටේ, පුවක් කෑලි වගේ මාළු කෑලි පිටරටින් ගෙනැල්ලා කන වලිග අප්පුලා ගැන අපිට හරිම දුකයි!” කියලයි.
මෙන්න බොලේ ඒ් ගමන රන මොනරයාය ගමේ අප්පුහාමිලා දෙන්නෙක් මහමූකලානය මැදින් යද්දී උන්ට කෙළින්ම මුණගැසුණේ කොටියෙක්. අනතුරක් වේවි කියලා හිතපු එක නැටි අප්පුහාමි කෙනෙක් ඉක්මනට ගිහින් කොටියාගේ වලිගයෙන් තද කරලා අල්ලගත්තා.
“යාළුවේ! උඹ ළඟ තියෙන කෙටේරියෙන් මූට කොටපන්!” කියලා පළමු අප්පුහාමි කිව්වා.
දෙවැනි අප්පුහාමි කොටියා දිහා හොඳට බලලා කිව්වේ, “අනේ මංමන්ද බං, මූ දිහා බලද්දී මට මතක් වෙන්නේ අපේ මාමාව. මූ හරියටම අපේ මාමා වගේ. මට බෑ මූව මරන්න!” කියලා.
“එහෙනම් කෙටේරිය මට දීලා, උඹ මේ කොටි වලිගය අල්ලගනින්!” කියලා පළමු අප්පුහාමි කෝපයෙන් කෙටේරිය දීලා කොටි වලිගය අනික් එක්කෙනාට දුන්නා.
ඊට පස්සේ කෙටේරිය අතට ගත්ත අප්පුහාමි, කොටියා දිහා බලලා ආයෙත් කිව්වා, “දැන් ඉතින් මාමයි බෑනයි ඕන මගුලක් කරගනිල්ලා. කියලා කෙටේරියත් කරේ තියාගෙන ගමට ගාටන්න වුණා. “කොටි වලිගය ඇල්ලුවා වගේ” කියන්නේ අන්න ඒකටයි. අතහරින්නත් බෑ, තියාගන්නත් බෑ! ණය අරගෙනත් බෑ නොගෙනත් බෑ වගේ.
මෙන්න මේ අතරේ අමුඩයාය ගමේ වලිග ඇමතිතුමා ඇතුළු ඇමති මණ්ඩලය විශේෂ මාධ්‍ය හමුවක් තියලා කැබිනට් තීරණ දැනුම් දුන්නා.
දුර ගමන් සේවා ඇමති අප්පුතුමා කීවේ,
“අපි ආණ්ඩුවක් විදිහට වලිග නීති තදින්ම ක්‍රියාත්මක කරනවා. කරත්තවල යද්දී නැට්ටට කොපුවක් දාන්න අනිවාර්යයි! ඒ වගේම සියලුම අප්පුහාමිලා ‘වලිග ලයිසන්’ එකක් ලබාගත යුතුයි. නැත්නම් වලිග දඩ ගහනවා. කරත්ත හරක් අප්පුලාගේ බෙල්ලට සීනුවක් හයි කරනවා. එතකොට හඬ ලස්සනයි.
ගෝණි විෂය භාර ඇමති අප්පු මෙසේ කීය.
“අපේ දැවැන්තම සංවර්ධන ව්‍යාපෘතිය තමයි ‘නැට් වලිග නිෂ්පාදනය’. ලංකාවේ දිගම අමුඩයට සමගාමීව, ලෝකයේ දිගම නැට් වලිගය නිෂ්පාදනය කරලා පිටරට යවලා විදේශ විනිමය හොයන්න අපි කටයුතු කරනවා.
මේ කතා අහගෙන හිටපු හඳයා හරක් අප්පු දියවන්නාව වැව දෙසට හැරිලා “උම්බෑ…” ගෑවේ, “අපිට වලිගය නැති වුණාම දුප්පත් වුණාට මේ අප්පුහාමිලාට වලිග ඇවිත් මුළු රටම අසරණ වුණා” කියන්නා වගේ ය.
රන මොනරයාය රටේ රට කරවන උත්මයෝ සිදු කරන ලස්සන කතා පොල්දුව හංදියේ සිට සිටි අපි කරුම්බාවක් බොමින් අසාගෙන සිටියේ ය.
මොනරයාගේ ගමේ ලප අප්පු සහ හරි හරී කුමාරිහාමි ගමේ පාලනය අතට අරගෙන “හැමෝගේම නැටි කෙළින් කරගෙන රට හදන්න පෙරට යන් ලෙස පැවසුහ.
මේ අතුර මොනර ගමේ පුතාණෝ පියාණෝ අප්පු තමන්ගේ නැට්ට ගිනි අරන් තියෙද්දී, අනුන්ගේ කුස්සියේ ගිනි නිවන්න දැවැන්ත කතා කියමින් ක්‍රිකට් පිත්තක්ගෙන පොල්දුව හංදියේ සිට ලකුණු 24ක් පන්දු 22 කින් ගන්නට සමතු වූ බව ක්‍රිඩා විස්තර ප්‍රචාරකයා කීය.
මෙම පොල්දුව ක්‍රිකට් තරඟවලියේදි ඉංග්‍රිසියෙන් විස්තර ප්‍රචාරය කළ කළු කෝට් අප්පු කෝපි කෝප්පයක් අතට ගෙන උගුරක් බොමින් පුතාණෝ පියාණෝගේ ඉනිමට සහයෝගය දකිවමින් කතා කළේය.
මැද මුලන යායේ සීයා අප්පු සහ සාටක පෝතක පැරණි නැටි වලිග මතක් කරමින් තවමත් මොනර වලව්වේ සිට 2029 ට ගනින්නට විය.
මොනර ගෙදර රොටි මාමා සහ කැට මාමා අලුත් නැටි උප්පරවැට්ටි සොයමින් ගමේ ව්‍යවසායකයින් ඇති කරන්නට මාන බලන අතර දකුණු මුහුදේ රං ආකරයක් ඇති බවත් උතුරු මුහුදේ තෙල් ආකරය දෙයා කාරයකින් රටට වැදගත් බව කියමින් නැට්ට සොලවන්නට විය.
පංචායුධ කුමාරයා තෙමේ තමන්ගේ නැට්ට ඇති විදෙස් බලපෑම හා කුමත්‍රණයක් ගැන රටටම හෙළි කළේය.
පැලවත්තේ සීයා තාත්තා පන්සලේ සීණුව පිටු පස සිට මුළු ගමේම නැටි පාලනය කරන්නට රසියන් බසින් ලියන ලද පොතක් කියවන්නට විය.
ආප්ප කඩේ මුදලාලි මාමා කියන්නේ මට වලිගයක් තිබුණ ද නැද්ද කියාලා මමවත් දන්නේ නෑ. මම හිටන් ඉන්නේ වලිගය උඩ ද මන්නා කියමින් අරලිය මාවත දිගේ සිය කුඹුරට යමින් කීය.
විහාරමාතා මැණිකේ පැත්තකට වී අන් සියල්ලන්ගේම වලිග දෙස බලමින් උපහාසයෙන් සිනාසෙන්නට වූවාය.
එතකොට කැබිනට් ඇමති මණ්ඩලයේ අලුත් අප්පුහාමිලා ටික නැටි ගැන කීමේ අමුතු කතා රැසකි.
දොස්තර කැබිනට් නැටි රෝගවලට බෙහෙත් සොයයි.කොත්තමල්ලි ඇටයක් කා දිගටම කතා කරන්නට විය.
මොනරයායෙ ගමේ නගරයේ සටන් නළුවකු මෙන් කටයුතු කරන රැජිනි කාන්ත කරාඹු නැටි වඝාව දියුණු කිරීම හා නැටි සඳහා වැටි වැටි සිටනවා වෙනුවට ලෝක නැටි දිනයයක් සම්මත කරගන්නා බවයි.
දිව කාවා අප්පු ඇමති කියන්නේ, වලිග නීති කෙටුම්පත් කරන බවයි.
කෙසෙල් මුවා අප්පු ඇමති කීවේ,ගොවි ගොවි ජනතාවගේ අමුඩයේ නැට්ට ආරක්ෂා කිරීමට කතා කරයි.
හේරත් රාළ මුදියන්ගේ ඇමති කීවේ මෙවන් කතාවකි. විදේශීය වලිග තානාපතිවරුන් හමු වී රටේ වලිගය ලොවටම දිගු කරන බවයි.
කීර පලා මාමා ඇමති අප්පු පළාත් සභාවල නැටි සම්බන්ධයෙන් අලුත් අමාත්‍යංශයක් ඇති කරන බවයි.
රත්තේ මල්ලී අප්පු ඇමති කියන්නේ වැවිලි යායේ නැටි වගාව දියුණු කර මලයානම් ජනතාවට උපරිම සහන වසර 200කට පසුව සලසන බවයි.
සුදුන් පුතා අප්පු ඇමති කයන්නෙ ්මෙවන් කතාවකි. වලිග කර්මාන්ත ශාලා අරඹන බවත් වැලිග වල හඳුන් ගෑම තුලින් ජනතාවගේ බුද්ධිය වර්ධනයවන බව නවතම සමීක්ෂණයකින් සොයා ගත් බවයි.
ගමේ නිලමේ අප්පු ඇමති කීවේ ගම් මට්ටමින් වලිග නිලධාරින් බඳවා ගන්නා බවයි.
ගමේ කොල්ලා තරුණු ඇමති අප්පු කීවේ තරුණයන්ගේ නැටි කෙළින් කර විදෙස් තරඟ සඳහා සුදානම් කරන නැට්ට පිටිය පිටය නැටිටට නම් වු තරුනු නැටි සවි බල ගැන්වීමේ වැඩසටහනට වීදුරු කැබිනට් අනුමැතිය ලැබු බවයි.
සිකුරිට් පාල මල්ලි අප්පු ඇමති කියන්නේ මහජන ආරක්ෂාවට වලිග මුරකරුවන් දමයි.
මල් මාමා බිබිලේ අප්පු ඇමති කියන්නේ ප්‍රවාහන කරත්තවලට වලිග කොපු අනිවාර්ය කරයි.
ආලෝක කුමාරයා ඇමති අප්පු කියන්නේ මහමඟ පයින් ගමන් කරන සියලුම වලිග අප්පු හාමිලාගේ වලිගවලට විදුලි ලාප්පු සවි කර ගත යුතු බවයි මෙම නීතිය පිළි නොපදින පිරිස පොලිසිය දමා දඩ කොළයක් දෙන බවයි.
බැද්දේගෙදර කැලෑ අප්පු වනයේ සතුන්ගේ වලිග පරිසරයට අනුගත කරන්නට හා වලිග නැති සතුන් සම්බන්ධයෙන් සමීක්ෂන්‍යක් කිරිමට සැරසෙන බව කියයි.
උතරේ තල් මල් දියසේන කුමාරයා අප්පු ඇමති කියන්නේ මුහුදේ මාළුන්ගේ වල්ග ගණන් කරන නිලධාරින් ලෙස මුහුදු වල්ග බලකායක් රටතුළ පිහිටුවන බවයි.
සාපුවේ මුදලාලා මාමා අප්පු කියන්නේ වලිග බදු සහ වෙළඳ පොළ පාලනය කිරීමට නව නීති සම්පාදනය කරන බවයි.
සිරිය ලාත කෞශල්‍යා කුමරිය ඇමතිනිය මෙසේ කීවාය. නාගරික වලිග නිවාස සංකිරණයක් නාරගම ඉදි කරන බවයි.
සාගිනි අප්පු ඇමති කියන්නේ කම්කරුවන්ගේ නැටි අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බවයි.
තාරකා මල්ලි ඇමති අප්පු කියන්නේ වලිග පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ සිදු කරන ගමන් වල්ගා තරු සමඟ ද්විපාර්ෂික සම්බන්ධාතා ඇති කර ගන්නට පියවර ගන්නා බවයි.
ගොවියාගේ අමුඩයේ නැට්ට එළියේ එල්ලුණාට ඒකෙන් කාටවත් හානියක් නැත. ඒක මහන්සියෙන් වැඩකරන මිනිහෙක්ගේ සංකේතයකි. හැබැයි අප්පුහාමිලා රෙද්දට යටින් සඟවාගෙන ඉන්න “අල්ලස් නැට්ට” එළියට ආවාම මුළු ලංකාවේ සිර ගෙවල් මදි වනු ඇතිය.
තමන්ගේ ඇතුළාන්තයේ තියෙන වංචාව, අතීත වැරදි සහ අඩුපාඩු නමැති නැට්ට පිටිපස්සේ තියාගෙන අනුන්ගේ ඇද පෙන්වන්න යන අප්පුහාමිලාට අන්තිමට සිද්ධ වෙන්නේ තමන්ගේ නැට්ටටම ගිනි පත්තුවෙලා ගම රට ලෝව වටේ දිව යන්නයි.
රන මොනර රටේ ගමේ ගම්වාසනට අප මතක් කරන්නේ වලිගය බිම ගෑවෙන තරමට නිහතමානී වෙන්න කියලාය. නමුත්, අනුන්ට පාගන්න පුළුවන් තරමට නැට්ට පාත් කරන්න යන්න එපා කියලා ය. අදට නැටි කතාව හමාර කරමින් නැට්ටට තිත තියමි.
රන මොනර ගමේ පොල්දූව හන්දියේ වංගුවේ ගෙදරින් ඇසෙන සතියේ රසවත් අන්දරය ලබන සතියේ ද බලපොරොත්තු වන්න…
නිමල් අල්ගෙවත්ත 2026.09.27

