ශ්‍රී ලංකා–කටාර් කම්කරු ඒකාබද්ධ කමිටුවේ නිත්‍ය රැස්වීම කටාර් රාජ්‍යයේ දෝහාහිදී ඊයේ දින(21)පැවැත්විණි.

කටාර් රාජ්‍යයේ කම්කරු අමාත්‍යාංශයේ උපලේකම් H.E. Sheikha Najwa bint Abdulrahman Al Thani මහත්මිය සහ විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා විසින් මෙම රැස්වීම සම-සභාපතිත්වය දරන ලදී.

මෙහිදී ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර කම්කරු ක්ෂේත්‍රයේ පවතින ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡා කෙරිණි. විශේෂයෙන්ම විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් බඳවා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම, සදාචාරාත්මක හා විනිවිදභාවයෙන් යුතු බඳවා ගැනීම් සහතික කිරීම සහ ශ්‍රමිකයන්ගේ සුබසාධනය හා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව අවධානය යොමු විය.

පුහුණු හා වෘත්තීයමය සුදුසුකම් සහිත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා කටාර් රාජ්‍යය තුළ වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීම, වෘත්තීය සුදුසුකම් අන්‍යෝන්‍ය වශයෙන් පිළිගැනීම සහ දෙරටේ අදාළ ආයතන අතර සම්බන්ධීකරණය වඩාත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරිණි.

එමෙන්ම කටාර් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දෙන ප්‍රායෝගික ගැටලු පිළිබඳවද අවධානය යොමු කළ අතර, ශ්‍රී ලංකා–කටාර් කම්කරු ඒකාබද්ධ කමිටුව හරහා එම කරුණු සම්බන්ධයෙන් ඵලදායී ඉදිරි ක්‍රියාවලියක් පවත්වාගෙන යාමේ වැදගත්කම අවධාරණය කෙරිණි.

ශ්‍රී ලංකාවේ කටාර් රාජ්‍යයේ තානාපති H.E. Sithara Khan මහත්මිය, විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය සුගත් යාලේගම මහතා, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සාමාන්‍යාධිකාරී S.M.S.D. ගුණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිසේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍යය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරෙන මෙම අවස්ථාවේදී, දෙරට අතර පවතින දිගුකාලීන මිත්‍රත්වය ප්‍රායෝගික ප්‍රතිඵල බවට පරිවර්තනය කරමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කිරීම, ඔවුන්ගේ කුසලතා ඉහළ නැංවීම, සාධාරණ හා විනිවිදභාවයෙන් යුතු බඳවා ගැනීම් සහතික කිරීම සහ ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් හා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දෙරට අතර සහයෝගීතාව ඉදිරියට ගෙන යාමට මෙයින් අපේක්ෂා කෙරේ.

Share.
Leave A Reply