වත්මන් ආණ්ඩුව බලයට පත්ව වසර දෙකක් ගතවී තිබුණද, රටේ ප්‍රධාන ගැටලු විසඳීමට අසාර්ථක වී ඇති අතර ජනාධිපතිවරයා ඇස් දෙක වසාගෙන කටයුතු කරන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (22) දැඩි ලෙස චෝදනා කළේය.

පාර්ලිමේන්තුව අමතමින් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා, ආණ්ඩුවේ අසාර්ථකත්වය හා දූෂණ චෝදනා රැසක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරමින් මෙසේ සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ ඇස් වැසූ පාලනය සහ අක්‍රමිකතා

ජනාධිපතිවරයා රට වටා යමින් නව බොරු ප්‍රකාශ කරන බවට චෝදනා කළ මන්ත්‍රීවරයා, ආණ්ඩුව තුළ සිදුවන මහා පරිමාණ දූෂණ හමුවේ ජනාධිපතිවරයා ඇස් වසාගෙන සිටින බව පැවසීය.

කන්ටේනර් පන්නා දැමීම: ජනාධිපතිවරයාගේ ලේකම්වරයා (හිටපු රේගු නිලධාරියෙකු) සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙද්දී වරායෙන් කන්ටේනර් 323ක් පරික්ෂාවකින් තොරව පන්නා දමා ඇති බවත්, ඒ පිළිබඳව ජනාධිපතිවරයා නොදන්නා සේ සිටින බවත් සඳහන් කළේය.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් වැරදි ගිණුමකට ඩොලර් මිලියන 2.5ක් බැර කර ඇති බවටද චෝදනා කළේය.

පසුගිය වසර දෙක ඇතුළත කළු කඩ වෙළඳපොළ හරහා ඩොලර් බිලියනයක මුදලක් පිටතට යවා ඇති බවත්, ආණ්ඩුව සිය වරද වසා ගැනීමට එය අන් අයට පවරන බවත් හෙතෙම කියා සිටියේය.

5G තාක්ෂණය පැමිණ ඇති යුගයක 4G කුළුණු 1000ක් සෑදීමටත්, වැව් 400ක් හැදීමටත් පොරොන්දු වුවද ඒවා සඳහා සල්ලි වෙන්කර පවා නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශකගේ ප්‍රකාශවලින් හෙළි වන බව පැවසීය.

මැතිවරණ සමයේ උපාධිධාරීන් 35,000කට එකවර රැකියා දෙන බව පැවසුවද, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) වාර්තාවලට අනුව මේ වන විට රටේ උගතුන් සහ උපාධිධාරීන්ගෙන් 43%කට රැකියා නොමැති බවත්, දකුණු ආසියාවේ වැඩිම විරැකියාවක් ඇති රට බවට ලංකාව පත්ව ඇති බවත් පෙන්වා දුන්නේය.

ආණ්ඩුව භාර ගන්නා විට සෘණ මට්ටමේ තිබූ උද්ධමනය මේ වන විට 8.1% දක්වා ඉහළ ගොස් ඇති අතර, 5.3%ක්ව තිබූ ආර්ථික වර්ධන වේගය 4.1% දක්වා පහත වැටී ඇති බව හෙළි කළේය.

ආණ්ඩුව මිලදී ගත් වී සඳහා ගොවීන්ට මුදල් ගෙවා නොමැති අතර, වේලාවට පොහොර ටික ලබා දීමටද අසමත් වී ඇත.

වන්දි නොගෙවීම: ‘දිට්ඨවා’ කුණාටුවෙන් හානි වූවන්ට ලක්ෂ ගණනින් වන්දි දෙන බවට ජනාධිපතිවරයා පොරොන්දු වුවද, දෙවැනි කුණාටුවත් පැමිණෙන තෙක් පළමු කුණාටුවේ වන්දි ගෙවා නොමැති බවත්, අලුතින් ගෙවල් සාදාගත් ජනතාව නැවතත් අනතුරට මුහුණ දී සිටින බවත් පැවසීය.

මෙරටට ගෙන ආ ගල්අඟුරු නැව් 19ම බාල මට්ටමේ ඒවා බවත්, ජනාධිපතිවරයා මේ සියල්ල හමුවේ ඇස් වසාගෙන සිටින බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Share.
Leave A Reply