සිය ගණනක් විදේශගත කළ තිප්පොළ යක්කල පොලීසිය වටලයි!

රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල ව්‍යාජ උපාධි සහතික, රාජ්‍ය ආයතන ප්‍රධානීන්ගේ නිල මුද්‍රා සහ ව්‍යාජ ලිපි ලේඛන සකස් කරමින් පවත්වාගෙන ගිය මහා පරිමාණ ජාවාරම් මධ්‍යස්ථානයක් ඉහළ ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී යක්කල පොලීසිය විසින් වටලා තිබේ.  

ගම්පහ පොලිස් බුද්ධි කොට්ඨාසයට ලත් තොරතුරකට අනුව සිදු කළ මෙම වැටලීමේදී තංගල්ල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු මසකට රුපියල් 35,000ක කුලී පදනම මත ලබාගත් නිවසක සිට වසරකට ආසන්න කාලයක් මෙම ජාවාරම පවත්වාගෙන ගොස් තිබේ.  

එහි තිබී ව්‍යාජ සහතික 35ක්, නිල මුද්‍රා 51ක්, එම්බොස් සීල් 3ක්, පරිගණක සහ මුද්‍රණ යන්ත්‍ර ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.  

රුපියල් 25,000 සිට ලක්ෂ 4 දක්වා වූ මුදල් අයකරමින් සකස් කළ මෙම ව්‍යාජ ලේඛන භාවිතයෙන් පුද්ගලයින් 200 – 300 අතර ප්‍රමාණයක් මේ වන විටත් විදේශගතව ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි

Share.
Leave A Reply