ගෝලීය වශයෙන් සීඝ්‍රයෙන් ඉහළ යන අධික තාප අවදානමට මුහුණ දීම සහ පරිසර හිතකාමී තිරසර සිසිලන විසඳුම් ජාත්‍යන්තර මට්ටමින් ප්‍රචලිත කිරීමේ අරමුණින් පැවැත්වූ “ගෝලීය සිසිලන ප්‍රතිඥා සමුළුව 2026” (Global Cooling Pledge Assembly 2026) සාර්ථකව නිමාවට පත්ව තිබේ.

එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සහ Cool Coalition සංවිධානය එක්ව සංවිධානය කළ මෙම සමුළුව 2026 සැප්තැම්බර් 15 වන දින සිට 18 දින දක්වා පැවැත්වුණු අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා ඊට එක්විය.

සමුළුවේ ප්‍රධාන සංදේශ සහ විශේෂ කරුණු:

UNDP සමඟ විශේෂ ද්විපාර්ශ්වික සාකච්ඡා:

සමුළුවට සමගාමීව පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ප්‍රධානීන් අතර පැවැති සාකච්ඡාවේදී, ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම පාලනය කිරීමට වත්මන් රජය ගෙන යන වැඩපිළිවෙල ඇගයීමට ලක් විය.

70%ක පුනර්ජනනීය බලශක්ති ඉලක්කය:

මෙරට සමස්ත බලශක්ති උත්පාදනයෙන් 70%ක්ම පුනර්ජනනීය සහ සුනිත්‍ය බලශක්තිය මඟින් සපුරා ගැනීමට රජය ගෙන ඇති සැලසුම්සහගත පියවර සහ හරිත සංකල්ප (Green Concepts) ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම කෙරෙහි ජාත්‍යන්තරයේ විශේෂ අවධානය යොමු විය.

මූල්‍ය ප්‍රදාන සහ තාක්ෂණික සහයෝගීතාව:

පසුගිය කාලයේ පැවති උදාසීන බව පිටුදකිමින් ශ්‍රී ලංකාව ක්‍රියාවට නංවන දේශගුණික ක්‍රියාමාර්ග සහ ඉදිරි හරිත ප්‍රතිපත්ති (Green Climate Policy) සාර්ථක කර ගැනීම වෙනුවෙන් නොමසුරුව මූල්‍ය ප්‍රදාන (Grants) සහ තාක්ෂණික සහාය ලබා දීමට UNDP එකඟතාව පළ කළේය.

‘පැසිව් කූලින්’ සහ ජාතික සිසිලන ප්‍රතිපත්තිය (National Cooling Policy):

අධික විදුලි පාරභෝජනයක් සහිත A/C යන්ත්‍ර වෙනුවට, නිවාස හා ගොඩනැගිලි අභ්‍යන්තර උෂ්ණත්වය ස්වභාවිකව 23°C – 25°C මට්ටමේ පවත්වාගත හැකි ‘පැසිව් කූලින්’ (Passive Cooling) වැනි තාක්ෂණික ක්‍රමවේද ජාතික මට්ටමින් භාවිතයට ගැනීමේ වැදගත්කම මෙහිදී සාකච්ඡා විය. කාබන් විමෝචනය අවම කරමින් ජාතික සිසිලන ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීමට ශ්‍රී ලංකාව ලබාදෙන ප්‍රමුඛතාව ද ඉදිරිපත් කෙරිණි.

ශ්‍රී ලංකාව ගෝලීය තාප අවදානමට විසඳුම් සෙවීමේදී දක්වන ක්‍රියාකාරී දායකත්වය අවධාරණය කිරීමටත්, ජාත්‍යන්තර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමටත් මෙම සමුළුව මනා පිටුවහලක් විය.

Share.
Leave A Reply