වනාතවිල්ලුව – විල්පත්තුව ජාතික වනෝද්‍යාන මායිම් කලාපයට අයත් පරණ එළුවක්කුලම නෙළුම් වැව් පරිශ්‍රයේ පිහිටි දුර්ලභ කුඹුක් ගස් ගිනිගෙන විනාශ වීමේ සිදුවීම සම්බන්ධයෙන් වහාම විමර්ශන වාර්තාවක් කැඳවීමට පරිසර අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ විශේෂ උපදෙස් මත, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් මේ පිළිබඳ කඩිනම් හා අපක්ෂපාතී පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

ඒකාබද්ධ විශේෂ මෙහෙයුමක් අද! සිද්ධිය වූ ස්ථානයේ සත්‍ය තතු අනාවරණය කරගැනීම සඳහා රාජ්‍ය අංශ කිහිපයක් එක්ව විශේෂ ඒකාබද්ධ පරීක්ෂණයක් අද (18) දින පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මේ සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව,වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව,වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව,ප්‍රාදේශීය පරිපාලන හා ආරක්ෂක අංශ එක්ව පරීක්ෂණ පවත්වන අතර, මෙය කිසියම් පාර්ශ්වයක් විසින් හිතාමතා සිදු කරන ලද කඩාකප්පල්කාරී පරිසර සංහාරයක්ද යන්න පිළිබඳව මෙහිදී විශේෂ අවධානය යොමු කෙරේ.

අතිශය සංවේදී ජල පෝෂක ප්‍රදේශයක සිදුවූ මෙම විනාශය සමස්ත පරිසර පද්ධතියටම එල්ල වූ බරපතළ තර්ජනයක් ලෙස අමාත්‍යාංශය පෙන්වා දෙයි. මෙම ගිනි තැබීමට සම්බන්ධ ඕනෑම තරාතිරමක තැනැත්තෙකුට එරෙහිව වනජීවී හා වන සංරක්ෂණ ආඥාපනත සහ ජාතික පාරිසරික පනතේ ප්‍රකාශිත නීතිමය රාමුව යටතේ කිසිදු තරාතිරමකින් තොරව උපරිම දඬුවම් පැමිණවීමට පරිසර අමාත්‍යාංශය දැඩි තීරණයක පසුවේ.

Share.
Leave A Reply