මහවැලි H කලාපය — “පුනරුදයට අරුණලු” ජාතික කෘෂිකර්ම වැඩසටහනට සමගාමීව මහවැලි H කලාපයේ සංවිධානය කරන ලද වප් මඟුල් උත්සවය කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ජාතික කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් මහවැලි කලාප 10ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන ආදර්ශ යාය ජාතික වැඩසටහන යටතේ ලැබූ දැවැන්ත ප්‍රගතිය මෙහිදී අනාවරණය විය.

මෙම තෙවසර නිශ්චිත වැඩසටහන යටතේ එක් කන්නයකදී යාය 150ක් ආවරණය කරමින් හෙක්ටයාර 5,000ක වගා කිරීමට ඉලක්ක කර ඇති අතර, වසර 3 අවසානයේදී සමස්ත යාය 900ක් පුරා හෙක්ටයාර 30,000ක විශාලත්වයක වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.

අස්වැන්නේ වාර්තාගත වර්ධනයක් පසුගිය අස්වනු සමීක්ෂණ දත්තවලට අනුව, 2026/27 මහ කන්නයේදී ආදර්ශ යාය වැඩසටහනට එක්වූ ගොවීන්ගෙන් 65%ක්ම හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 6කට වඩා වැඩි අස්වැන්නක් ලබාගෙන ඇති අතර, 35%ක් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 7 සීමාවද ඉක්මවා ගොස් ඇත.

මෙම සාර්ථකත්වය තවදුරටත් තහවුරු කරමින් 2026 යල කන්නයේදී හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 6කට වඩා අස්වැන්න ලබාගත් ප්‍රතිශතය 79% දක්වා ඉහළ ගොස් ඇත. එසේම, හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 7 සහ 8 සීමාවන් ඉක්මවා යාමට පිළිවෙළින් ගොවීන් 40%ක් සහ 17%ක් සමත් වී තිබේ.

විශේෂයෙන්ම මහවැලි වලව කලාපයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 12.5ක (අක්කරයකට වී බුසල් 245) අතිවිශිෂ්ට අස්වැන්නක් වාර්තා වී ඇති අතර, මහවැලි C කලාපයෙන් හෙක්ටයාරයකට මෙට්‍රික් ටොන් 11.4ක (අක්කරයකට වී බුසල් 222) මෙතෙක් ලැබුණු වැඩිම කීරි සම්බා අස්වැන්න වාර්තා කිරීමට සමත් විය.

නූතන තාක්ෂණය සහ අනාගත ඉලක්ක ප්‍රාථමික බිම් සැකසීමේදී රොටවේටර් භාවිතයෙන් ඉවත්ව අඟල් 9ක් යටට යන පරිදි ගැඹුරු බිම් සැකසීම, බීජ සහනාධාර, කාබනික පොහොර යෙදීම සහ නූතන පලිබෝධ හා ජල කළමනාකරණය ඇතුළු ප්‍රධාන ක්‍රියාකාරකම් 10ක් ඔස්සේ මහවැලි අධිකාරිය විසින් ගොවීන් දිරිගන්වයි.

උත්සව සභාව ඇමතූ අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පෙන්වා දුන්නේ වර්තමාන තාක්ෂණය සමඟ අක්කරයකට අවම වශයෙන් වී බුසල් 120ක අස්වැන්නක් ලබාගත යුතු බවයි. අක්කර 200ට අඩු වැව් ආශ්‍රිතව අතුරු බෝග වගාව ප්‍රවර්ධනය කරන බවත්, පෞද්ගලික අංශය හා එක්ව හතරවෙනි පරම්පරාවේ පොහොර භාවිතය ආදර්ශ යාය 15ක පරීක්ෂණ මට්ටමින් අරඹන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම දැනට රජය විසින් මිලදී ගන්නා 3%ක වී ප්‍රතිශතය 10% දක්වා ඉහළ නංවමින් වී අලෙවි මණ්ඩලයේ ගබඩා පහසුකම් පුළුල් කිරීමට සහ පිදුරු ගිනි තැබීම වෙනුවට කාබනික ද්‍රව්‍ය ලෙස පසට එකතු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

Share.
Leave A Reply