(01)
දෙහිවල නිවසකට අත්බෝම්බ ප්‍රහාරයක්: බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකු ජීවිතක්ෂයට!
පියා බරපතල තුවාල ලබා රෝහලේ; සැකකරුවන් සහ හේතුව මෙතෙක් අනාවරණය වී නෑ
දෙහිවල, සිරිසඟබෝ මාවත ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම නාඳුනන පුද්ගලයකු විසින් එල්ල කරන ලද අත්බෝම්බ ප්‍රහාරයකින් එකම පවුලේ බාලවයස්කාර පිරිමි දරුවන් දෙදෙනෙකු අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ ඔවුන්ගේ පියා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබයි.
මෙසේ මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේම පදිංචිව සිටි අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන පිරිමි ළමුන් දෙදෙනෙකි. ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා ඇත්තේ ඔවුන්ගේ 55 හැවිරිදි පියාය.
අද අලුයම සිදුවූ මෙම ප්‍රහාරයෙන් පසු තුවාලකරුවන් වහාම කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, දෙදෙනාම ඒ වන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි. මෘත ශරීර දැනට කළුබෝවිල රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
මෙම අපරාධයට හේතුව හෝ ප්‍රහාරය එල්ල කළ සැකකරුවන් කවුරුන්ද යන්න මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර, සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා දෙහිවල පොලීසිය විසින් පරීක්ෂණ තීව්‍ර කර ඇත.
(02) අලුකැටියාවේ නිවසක් ඉදිරිපිට තියුණු ආයුධ පහරදීමකින් 26 හැවිරිදි තරුණයෙක් ඝාතනය කෙරේ
මහියංගනය පොලිස් වසමට අයත් අලුකැටියාව ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී තියුණු ආයුධයකින් පහරදී 26 හැවිරිදි තරුණයෙකු ඝාතනය කර තිබේ. ඊයේ (10) රාත්‍රී කාලයේදී මෙම ඝාතනය සිදුව ඇත.
මෙසේ ඝාතනය වී ඇත්තේ මාපාකඩවැව, අබේපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඝාතනයට හේතුව හෝ මෙය සිදුකළ පුද්ගලයන් කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය වූ ස්ථානයේ පොලිස් ආරක්ෂාව යොදවා ඇති අතර මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. මහියංගනය පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
(03)
බෝතලේගම නිධානයක් හාරමින් සිටි තිදෙනෙක් උපකරණ පිටින් මාට්ටු
බුලත්සිංහල, බෝතලේගම ප්‍රදේශයේ ඉඩමක පුරාවස්තු ලබාගැනීමේ අරමුණින් කැණීම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙකු ඊයේ (10) බුලත්සිංහල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී කැණීම් සඳහා යොදාගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 35 ත් 50 ත් අතර වයස්වල පසුවන බුලත්සිංහල සහ හොරණ ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
(04) මහා මාර්ගයේ මාරයා බිලිගත් අනතුරු දෙකක්: ගිලන් රථ රියැදුරෙක් සහ පාපැදිකරුවෙක් ජීවිතක්ෂයට!
ඊයේ (10) දිවයිනේ ස්ථාන දෙකක සිදුවූ රථවාහන අනතුරු දෙකකින් ගිලන් රථ රියැදුරෙකු සහ වයෝවෘද්ධ පාපැදිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.
මහව – ගිලන් රථ අනතුර: පාදෙනිය-අනුරාධපුර මාර්ගයේ කැත්තෑපහුව ප්‍රදේශයේදී අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි මීගලෑව රෝහලට අයත් ගිලන් රථයක ගැටීමෙන් ගිලන් රථයේ රියැදුරු (55) මියගොස් ඇත. අනතුරින් ගිලන් රථයේ සහයක, සෞඛ්‍ය නිලධාරිණියක්, ලොරි රථයේ රියැදුරු සහ කාන්තාවන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා අඹන්පොල, ගල්ගමුව, කුරුණෑගල සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුළත් කර ඇත.
පෙරියනිලාවනි – පාපැදි අනතුර: මඩකලපුව-කල්මුණ මාර්ගයේ ලුමාලා හන්දිය ආසන්නයේදී යතුරුපැදියක් පාපැදියක ගැටීමෙන් 76 හැවිරිදි මරදමුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු මියගොස් ඇත. යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන ඇත.
(05) කොටවෙහෙරදී වන අලි ප්‍රහාරයකින් 82 හැවිරිදි සියබරසීයා මියයයි
කොටවෙහෙර පොලිස් වසමේ හුදලියාව වැව ආසන්නයේදී ඊයේ (10) රාත්‍රී කාලයේ සිදුවූ වන අලි ප්‍රහාරයකින් 82 හැවිරිදි වයෝවෘද්ධ පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මැල්ලගස්වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. බරපතල තුවාල ලැබූ ඔහු නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත.
(06) කටුනායකදී හොරෙයින් සහ සොරාගත් යතුරුපැදියක් සමග හසුවූ සැකකරුගෙන් දැවැන්ත සොරකම් ජාලයක් එළියට
ආඩිඅම්බලම ප්‍රදේශයේදී සැකකටයුතු ලෙස යතුරුපැදියක් කොටස් වලට ගලවමින් සිටි පුද්ගලයෙකු හෙරොයින් ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 200 ක් සහ සොරාගත් යතුරුපැදියක් සමග කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී එම යතුරුපැදිය වේයන්ගොඩින් සොරාගත් එකක් බව අනාවරණය වූ අතර, ඊට සම්බන්ධ තවත් සැකකරුවෙකු සීදුවෙන් අත්අඩංගුවට ගෙන තිබේ. මොවුන් වයස අවුරුදු 22 සහ 25 පසුවන ආඩිඅම්බලම සහ සීදුව පදිංචිකරුවන්ය. මොවුන් ප්‍රදේශ කිහිපයක සිදුවූ තඹ කම්බි සොරකම්, ජංගම දුරකථන සොරකම් සහ තවත් යතුරුපැදි සොරකමකට සම්බන්ධ බවට අනාවරණය වී ඇත.

