කොළඹ මහාධිකරණයේ විභාග වන නඩුවකට අදාළව, අත්හිට වූ සිර දඬුවමක් ලබා දීමට කටයුතු කර දෙන බව පවසා රුපියල් 750,000ක මුදලක් අල්ලස් ලෙස ලබාගත් අධිකරණ අමාත්‍යාංශයේ කාර්යාල කාර්යය සේවකයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගලගෙදර ආරච්චිලාගේ චරිත් කුමාර නමැති කොළඹ අංක 11 මහාධිකරණයේ කාර්යාල කාර්ය සහායක ලෙස සේවය කළ අයෙකි. 

එම මහාධිකරණයේ විභාග වන නඩුවක චූදිතයෙකුට අදාළ විනිසුරුවරයා ලවා අත්හිට වූ සිර දඬුවම් ලබා දෙන බව පවසා සැකකරු විසින් මෙම මුදල ලබාගෙන ඇති බව සඳහන් වේ. 

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් විසින් පසුගිය 07 වන දින පෙ.ව. 11.50 ට පමණ නව මහාධිකරණ සංකීර්ණයේ අංක 11 මහාධිකරණ ශාලාව අසලදී මෙම වැටලීම සිදුකර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.  අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Share.
Leave A Reply