1.පේදුරුතුඩුවේදී මන්නා පහරින් 33 හැවිරිදි තරුණයෙක් ඝාතනය කෙරේ!

පේදුරුතුඩුව ග්‍රාමකෝට්ට හන්දිය අසලදී පිරිසක් අතර ඇති වූ උණුසුම් බහින්බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධවලින් පහරදී 33 හැවිරිදි කරවෙඩ්ඩි පදිංචිකරුවෙකු ඝාතනය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි. 

2. කොටහේන වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිකරු අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට!

කොටහේන ,සංඝරාජ මාවතේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට පැමිණි යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කළ 23 හැවිරිදි මට්ටක්කුලිය ප්‍රදේශයේ සැකකරුවෙකු ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද සමඟ කොළඹ උතුර අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

3. තලවතුගොඩ කෝටි 7.6ක මහා කොල්ලයේ රියැදුරු කෝටි 1.6ක මුදල් සහ හොර කාර් එකත් සමඟ මාට්ටු!

තලංගම,තලවතුගොඩ ආයතනයකට මන්නා පිහි පෙන්වා ඇතුළු වී රුපියල් කෝටි 6.4කට අධික මුදල් සහ කෝටියකට අධික රන් භාණ්ඩ කොල්ලකෑමේ සිද්ධියට පැමිණි ව්‍යාජ අංක යෙදූ කාර් රථයේ රියැදුරු (49) අත්අඩංගුවට! සැකකරු ළඟ තිබී කොල්ලකන ලද රුපියල් 1,62,000,000ක මුදලක් ද සොයාගෙන තිබේ. 

4. රුපියල් කෝටි ගණනක් වටිනා ‘කුෂ්’ මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමඟ කාන්තාවන් දෙදෙනෙක් කටුනායකදී අත්අඩංගුවට!

කටුනායක පැමිණීමේ පර්යන්තයේදී සිදුකළ විශේෂ වැටලීමකදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 372ක් සමඟ තොටලඟ සහ දෙමටගොඩ ප්‍රදේශවල පදිංචි 33 සහ 35 හැවිරිදි කාන්තාවන් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

5. කැලේ වවා තිබූ අක්කරයක ගංජා පැළ ලක්ෂයක් වලාන දූෂණ මර්දනයෙන් වටලයි!

හම්බෙගමුව: කහකුරුල්ලන්පැලැස්ස රක්ෂිතයේ අක්කරයක පමණ භූමියක නීති විරෝධී ලෙස වගා කර තිබූ ගංජා ගස් 1,20,000ක් (ලක්ෂ විස්සක්) සමඟ 31 හැවිරිදි සැකකරුවෙකු වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.  

6. පෑලියගොඩ මාළු වෙළඳසැල අසලදී හෙරොයින් ග්‍රෑම් 225ක් සමඟ සැකකරුවෙක් මාට්ටු!

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳසැල ආසන්නයේදී බස්නාහිර පළාත් උතුරු දිසා අපරාධ කොට්ඨාසය මගින් සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 225ක් සන්තකයේ තබාගෙන සිටි 32 හැවිරිදි පෑලියගොඩ පදිංචිකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

7. ඇත්දළ කොටස් 11ක් සහ ඇත්කෙඳි 29ක් සමඟ පානදුරේ අයෙක් බුත්තලදී සැකපිට අත්අඩංගුවට!

වන අලින්ගෙන් ලබාගත් දළ කොටස් 11ක්, ඇත්දළවලින් සකසන ලද අත්පළඳනාවක් සහ ඇත් කෙඳි 29ක් සන්තකයේ තබාගෙන සිටි 67 හැවිරිදි පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බුත්තල නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 

8. රහසිගතව මැණික් ගරමින් සිටි තරුණයින් 4 දෙනෙක් නෝර්වුඩ්දී අත්අඩංගුවට!

නෝර්වුඩ් පොට්ට්‍ර ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස මැණික් ගරමින් සිටි වයස අවුරුදු 18ත් 30ත් අතර පසුවන ප්‍රදේශවාසී තරුණයින් සිව්දෙනෙකු නෝර්වුඩ් පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. 

9. තලවාකැලේ පාලම අසල තිබී මෘත ශරීරයක් සොයා ගැනේ – ඝාතනයක්ද? සියදිවි හානිකරගැනීමක්ද? තලවාකැලේ

සුමන විද්‍යාලය අසල පාලම මත ගමන් මල්ලක් සහ සපත්තු යුවලක් දමා ගඟට පැන්නාට සැකකළ 46 හැවිරිදි හපුතලේ පදිංචිකරුවෙකුගේ සිරුර සොයාගෙන තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් තලවාකැලේ පොලිසිය පරීක්ෂණ පවත්වයි. 

10. මඩකලපුවේදී බස් රථයක යතුරුපැදිය ගැටී 24 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට!

මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ මොරකොටන්චේන ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථයක යතුරුපැදියක් ගැටීමෙන් සිදු වූ දරුණු අනතුරකින් 24 හැවිරිදි කිරාන්කුලම් ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබේ. බස් රථයේ රියැදුරු අත්අඩංගුවට. 

11. හිඟුරක්ගොඩදී යතුරුපැදිය ගසක ගැටී 21 හැවිරිදි ගිරිතලේ තරුණයා එම ස්ථානයේදීම මියයයි!

හිඟුරක්ගොඩ – මින්නේරිය මාර්ගයේ උල්පත්ඇල පාලම අසලදී යතුරුපැදිය පාලනය කරගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් 21 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස මියගොස් ඇත. 

12. කිලිනොච්චියේදී කාර් රථයක යතුරුපැදිය ගැටී 68 හැවිරිදි පුද්ගලයෙක් මියයයි!කිලිනොච්චිය

මහනුවර – යාපනය මාර්ගයේ විලාචෝඩෛ හන්දියේදී අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට ඇතුළු කළ යතුරු පැදියක් කාර් රථයක ගැටීමෙන් 68 හැවිරිදි පරන්තන් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත. 

13. නිකවැරටියදී ඉස්සර කිරීමට ගිය ත්‍රීරෝද රථය ටිපර් රථයේ හැපේ: රියැදුරු තැනදීම මියයයි!

නිකවැරටිය: කුරුණෑගල – පුත්තලම මාර්ගයේ මාගල්ලේගම ප්‍රදේශයේදී වාහන කිහිපයකට ඉස්සර කිරීමට ගිය ත්‍රීරෝද රථයක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් 50 හැවිරිදි විතිකුලිය ප්‍රදේශයේ පදිංචි ත්‍රීරෝද රථ රියැදුරු මියගොස් තිබේ.   

Share.
Leave A Reply