ඉන්දියන් සාගර කලාපය ඔස්සේ සිදු වන විෂ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීමට ඉන්දියාවේ පූර්ණ සහාය අපේක්ෂා කරනවා

                                                                                                            – ජනපති

  • දෙරට අතර සහයෝගීතාව ශක්තිමත් කෙරෙන නව ගිවිසුම් 03ක්

හුවමාරු කර ගැනේ

  • මාර්ගගත ක්‍රමය ඔස්සේ බේලි පාලම් 03ක්ද විවෘත කෙරේ     

මෙරට නිල සංචාරයක නිරත ඉන්දීය ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

දෙරට අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා මෙරට සංචාරයකට එක්ව සිටින අතර ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයෙකු නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ ඇත්තේ වසර 38කට පසුව වීමද විශේෂත්වයකි.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක, ආර්ථික, සාගර සහ කලාපීය හවුල්කාරිත්වය මෙන්ම දෙරට අතර පවතින ඓතිහාසික සබඳතා අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රතිලාභ සැලසෙන අයුරින් තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙහිදී ජනාධිතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා අතර දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

විශේෂයෙන්ම, විෂ මත්ද්‍රව්‍ය උවදුර මැඬලීම වෙනුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට ආරම්භ කර ඇති ජාතික වැඩසටහන පිළිබඳව ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළ අතර ඉන්දියානු සාගරය මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා කේන්ද්‍රස්ථානයක් වී ඇති බැවින්, විෂ මත්ද්‍රව්‍ය මැඬලීමේ කටයුතු සඳහා ඉන්දියාවේ සහාය අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා පැවසීය. විශේෂයෙන්ම දැනට ඉන්දියාවේ සිරගතව සිටින ශ්‍රී ලාංකික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන ඒම සඳහා ඉන්දියාවේ පූර්ණ සහාය ලැබෙනු ඇති බවටද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

පසුගිය සමයේ ශ්‍රී ලංකාව දුෂ්කරතාවලට මුහුණදුන් සෑම අවස්ථාවකම ඉන්දියාව විසින් ලබා දෙන ලද සහායද ජනාධිපතිවරයා මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළේය.

ඉන්දියානු සාගර කලාපය සාමකාමීව පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහයෝගය ලබා දෙන බව  සඳහන් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව තීන්දු තීරණ ගනු ලබන්නේ ජාතික අවශ්‍යතා මෙන්ම කලාපීය අවශ්‍යතාද සැලකිල්ලට ගනිමින් බවත්, ලංකාව ස්වෛරී රාජ්‍යයක් ලෙස ලෝකයේ විවිධ රටවල් සමග විවිධ ගිවිසුම්වලට එළඹෙන්නේ කලාපීය ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වෙමින් බවත් පැවසීය.

ඉන්දියානු සාගර කලාපය තුළ ගැටුම් ඇති නොවන පරිදි සාමකාමී කලාපයක් ලෙස පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව දක්වන දායකත්වය මෙහිදී ඉන්දියානු ආරක්ෂක අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක් විය.

එමෙන්ම, දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට ඉන්දීය හමුදාව ලබා දුන් දායකත්වය මෙහිදී විශේෂ ඇගයීමට ලක් කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්හි ධාරිතා සංවර්ධනය මෙන්ම දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අද හුවමාරු කර ගන්නා ලද නව ගිවිසුම් ඉවහල් වනු ඇති බවටද විශ්වාසය පළ කළේය.  

“අසල්වැසියා පළමුව” යන  විදේශ ප්‍රතිපත්තිය තුළ ශ්‍රී ලංකාව ඉන්දියාවට ඉතා සුවිශේෂී බව මෙහිදී සඳහන් කළ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වයෙන් පසුගිය දෙවසර තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට ගනු ලබු පියවර ඇගයීමට ලක් කළේය.

ධීවර ගැටලුව පිළිබඳවද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර  ශ්‍රී ලංකා ධීවරයන්ගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගය ආරක්ෂා කර ගැනීම සඳහා ඉන්දියාවේ දායකත්වය ලබා ගැනීම පිළිබඳවත් මෙම ගැටලුව විසඳා ගැනීමට දෙරටම සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳවත් මෙහිදී  සාකච්ඡා  විය.

අනතුරුව දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීමේ වැදගත් පියවරක් ලෙස අත්සන් තබන ලද නව ගිවිසුම් තුනක් හුවමාරු කර ගැනීමද ජනාධිපතිවරයා සහ ඉන්දීය ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරියේ සිදු විය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සඳහා L70 තුවක්කු පද්ධති නවීකරණය සහ වැඩිදියුණු කිරීම සඳහා වූ ගිවිසුම,  ඉන්දියාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂක විද්‍යාලය අතර අධ්‍යයන සහයෝගීතාව සඳහා වූ ගිවිසුම සහ ශ්‍රී ලංකා ශිෂ්‍යභට බලකාය සහ ඉන්දීය ශිෂ්‍යභට බලකාය අතර ද්විපාර්ශ්වික සහයෝගීතාව සම්බන්ධ ගිවිසුම යන ගිවිසුම් ත්‍රිත්වය ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් විසින් මෙහිදී හුවමාරු කර ගන්නා ලදී.

මේ අතර, ඉන්දියානු රජයේ ප්‍රදානයකට අනුව කුරුණෑගල සහ මඩකලපුව දිස්ත්‍රික්කයන්හි ස්ථාපනය කරන ලද බේලි පාලම් 03ක් විවෘත කිරීම සඳහාද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දියානු ආරක්ෂක අමාත්‍ය ශ්‍රී රාජ්නාත් සිං මහතා මාර්ගගත තාක්ෂණය ඔස්සේ එක් වූහ.

දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව අත්‍යවශ්‍ය මාර්ග සම්බන්ධතා ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා ඉන්දියාව විසින් පිරිනමන ලද පුනරුත්ථාපන ආධාර වැඩසටහනේ කොටසක් ලෙස පන්සීයගම – කුරුණෑගල, කැබැල්ලෑව – කුරුණෑගල සහ පලුගමම් – මඩකලපුව යන මාර්ගවල ඉදිකෙරුණු බේලි පාලම් මෙලෙස ජනතා අයිතියට පැවරිණි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ බලන ලේකම් ඉන්දිකා විජේගුණවර්ධන යන මහත්ම මහත්මීන්ද, ඉන්දියානු ගුවන් හමුදා උප මාණ්ඩලික ප්‍රධානී එයාර් මාර්ෂල් Ashutosha Dixit, නාවික හමුදා උප මාණ්ඩලික ප්‍රධානී වයිස් අද්මිරාල් Ajay Kochhar, යුද හමුදා උප මාණ්ඩලික ප්‍රධානී ලෙෆ්ටිනන් ජෙනරාල් Sandeep Jain, ආරක්ෂක අමාත්‍යාංශයේ සම ලේකම් Prasanna Shrivastava යන මහත්වරු සහ ඉන්දියානු ආරක්ෂක සහ විදේශ කටයුතු අමාත්‍යාංශ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගෙන් සමන්විත ඉහළ පෙළේ දූත පිරිසද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Share.
Leave A Reply